Lanka Lead News – සමාජ ජාලා අයාලේ ගියොත් ජංජාලයකි!

0
40


August 14, 2019 4:45 pm | Lanka Lead News

ඉදිරි ජනාධිපතිවරණයේදී ප‍්‍රතිවාදීන්ට මඩ ප‍්‍රහාර ගසන අසත්‍ය කරුණු හුවා දක්වමින් චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව මුහුණු පොත (ෆේස්බුක්) සහ ට්විටර් වැනි සමාජ ජාල භාවිතා කරමින් ජනාධිපති අපේක්‍ෂකයන්ට මඩ ගසන ව්‍යාපාර, එම අපේක්‍ෂකයන්ගේ චරිත ඝාතන වැනි කි‍්‍රයාකාරකම් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධ පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටී.

මෙය ප‍්‍රායෝගිකව කෙතෙක් දුරට කි‍්‍රයා කළ හැකි දැයි යන්න ප‍්‍රශ්නයකි. නමුත් සමාජ මාධ්‍ය ජාල තුළින් කෙරෙන සන්නිවේදනය ඉතාමත් පහත් මට්ටමකට වැටේනම් හෝ එය රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් උදාවේ ද එය නියාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

මේ වන විට අප රටේ ලක්‍ෂ 67 ක් පමණ අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටිති. ඉන් ලක්‍ෂ 60 ක් පමණ සමාජ මාධ්‍ය ජාල කි‍්‍රයාකාරීන්ය. එම පිරිස අතරින් 96% ක්ම මුහුණු පොත හා සම්බන්ධව සිටිති. එනිසාම අප රටේ අන්තර්ජාලය පාවිච්චි කරන පිණිස සමාජයට ප‍්‍රබල බලපෑම් කළ හැකි කණ්ඩායමක් බව පැහැදිලිය. මෙම පිරිසේ කි‍්‍රයාකාරීත්වය අහිතකර වුවහොත් ඉන් රටට සිදුවන බලපෑම ආපසු හැරවීම නොහැකි තරම්ය.

2010 වසරේ 80 පමණ වූ සයිබර් අපරාධ ප‍්‍රමාණය 2017 වසර වන විට 3185 දක්වා ඉහළ ගොස් තිබේ. අන්තර්ජාල හරහා සිදුවන අපරාධ ඉහළ ගොස් තිබේ. කෙඩි‍්‍රට් කාඞ් වංචා, ලිංගික වෙළෙඳාම, ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම, ලිංගිකමය හා මූල්‍ය අල්ලස් ගැනීම වැනි සයිබර් අපරාධ ශී‍්‍ර ලංකාවේ ඉහළ ගොස් තිබේ. 21 වැනිදා පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සිය අන්තවාදී මත ප‍්‍රචාරය කරනු ලැබුවේ Facebook හරහාය.

සමාජ මාධ්‍ය ජාල අවභාවිතා වුවහොත් ඉන් ඕනෑම රටකට සිදුවිය හැකි තත්ත්වය බරපතළය. පසුගිය කාලයේදී ප‍්‍රංශයේ බදු වැඩි කිරීමට එරෙහිව එම රටේ මුහුණු පොතට සම්බන්ධ කි‍්‍රයාකාරීන් පිරිසක් දැඩිව කි‍්‍රයාත්මක වූහ. ප‍්‍රංශයේ පැරිස් නුවරට එක්වූ මෙම පිරිස කඩ සාප්පු විනාශ කරමින්, එහි සංස්කෘතික වටිනාකම් ඇති දෑ විනාශ කරමින් මහත් කලබැගෑනියක් කළහ. අවසානයේදී ප‍්‍රංශ ජනාධිපති ඉමානුවේල් මැක්‍රෝට මුහුණු පොතෙහි ප‍්‍රධානි මාර්ක් සකර්බර්ක් ගෙන්වා සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ඔහුගෙන් උපදෙස් පවා ලබාගැනීමට සිදුවිය. අන්තර්ජාලය භාවිතය සම්න්ධයෙන් මෙවැනි නරක පූර්වාදර්ශ අනන්තවත් ඇති නිසා සමාජ මාධ්‍ය ජාලා අයාලේ යන්නේ නම් එය නියාමනය කිරීම, ඒ සඳහා අවශ්‍ය නීති රීති පැනවීම වරදක් නොවනු ඇත.

ලෝකයේ දැනුම මෙහොතින් මොහොත අලූත් වෙමින් තිබේ. ඊට සමගාමීව තොරතුරු සන්නිවේදනය ද වේගවත් වී තිබේ. අන්තර්ජාල පහසුකම් නිසා ඉතාමත් කෙටි කාලයකදී පණිවිඩයක් අන් අය සමග හුවමාරු කර කරගත හැකිය. මෙම සන්නිවේදන මෙවලම අප අපේ ඉදිරි ගමන වෙනුවෙන් නව ලොව දැනුම භාවිතය හුවමාරු කර

ගැනීම වෙනුවෙන් යොදා ගන්නේ නම් ඉන් ලැබිය හැකි පලප‍්‍රයෝජන අතිමහත්ය. නමුත් අවාසනාවකට ලංකාවේදී අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩි පිරිසකගේ භාවිතය මීට වඩා වෙනස්ය. එය හුදු විනෝදාස්වාදයට සහ දුර්මත ප‍්‍රචාරය කිරීමට ලඝුවී තිබීම කනගාටුදායකය. මෙය වහා වෙනස් විය යුතුය.

අන්තර්ජාලය භාවිතා කරන්නෝ ද සිය ආකල්ප වෙනස් කර ගතයුතු කාලය එළඹ ඇත. නව දැනුම සොයන ගවේෂකයන්, සන්නිවේදකයන් බවට අන්තර්ජාල භාවිතා කරන්නේ පත්විය යුතුය. ඉදිරි ජනාධිපතිවරණයට සාපේක්‍ෂව කල්පනා කරන්නේ නම් අපේක්‍ෂකයන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යෑමට අන්තර්ජාලය භාවිතා කළ හැකිය. මඩ ප‍්‍රහාර, චරිත ඝාතන සිදු නොකර ජනාධිපති අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ගැන සංවාදයක් ඇතිකර ගැනීමට අන්තර්ජාලය භාවිතා කිරීමට පුළුවන. මනුෂ්‍යත්වයට නිගා දෙන පහත්, අශෝභන සන්නිවේදන කි‍්‍රයාවලියෙන් ඉවත් වී යහපත් මිනිසුන් ලෙස අන්තර්ජාල අවකාශයේ සැරිසැරීමට අදිටන් කරගන්නේ නම් නව සමාජ මාධ්‍ය භාවිතය නැවුම් දිශාවකට

ගෙනයා හැකිය. එය කළ හැකි දෙයකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා යහපත් ආරම්භයක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here