සිම්බාබ්වේ ක්‍රිකට් තහනම්

0
58


ජුලි 20, 2019 01:00

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ලන්ඩන් නුවර පැවැති අයි.සී.සී විධායක කමිටු රැස්වීමකදී මේ තීරණය ගෙන ඇත්තේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තුළ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ එරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙනි. මේ තහනමත් සමගින් අයි.සී.සී. සාමාජිකත්වය අහිමිවීම නිසා ඔවුන්ට ගෙවනු ලබන දීමනා ඇතුළු සියලුම වරප්‍රසාද අහිවී යයි. මීට පෙර පසුගිය මැයි මාසයේදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද කටයුතු කර තිබිණි.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පසුගිය වකවානුවේදී අයි.සී.සී. ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් මෙලෙස තහනමක් පැනවීමට කටයුතු කළ බවත් අයි.සී.සී. සභාපති ශෂාන්ක් මනෝහර් මහතා කියා සිටී.

මේ වනවිට තේරී පත්ව ඇති ක්‍රිකට් පාලක මණ්ඩලය මාස තුනක් ඇතුළත නැවත සේවයේ පිහිටුවන ලෙස අයි.සී.සී.ය දන්වා ඇති අතර එහි ප්‍රගතිය සලකා බලා ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ඊළඟ පාලක මණ්ඩල රැස්වීමේදී මේ තීරණය නැවත සලකා බලන බව අයි.සී.සී. සභාපතිවරයා පවසා ඇත.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට මින් ඉදිරියට අයි.සී.සී ය විසින් සංවිධාන කරන කිසිදු ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවන අතර එරට ක්‍රිකට් බලධාරීන්ට ද අයි.සී.සී යේ කටයුතු සඳහා සම්බන්ධ වීමද තහනම් වෙයි.

මේ හේතුවෙන් ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාවද සිම්බාබ්වේ පිලට අහිමි වෙයි.

මීට අමතරව අයි.සී.සී. යේ අර්ධ කාලීන සාමාජිකයන් ලෙස කටයුතු කරන ක්‍රොඒෂියා ක්‍රිකට් සම්මේලනය සහ සැම්බියා ක්‍රිකට් සංගමය සාමාජිකත්වයන් අත්හිටුවීමටද කටයුතු කර තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here