ස්මිත් 211යි

0
181


සැප් 7, 2019 01:00

පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්ව අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අහිමිවූ ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් ස්මිත් මැන්චෙස්ටර් හිදී 4 වැනිදා ආරම්භවූ සිවුවැනි තරගයට එක්වෙමින් ද්විත්ව ශතකයක් වාර්තා කිරී ම කැපී පෙනෙන සිදුවීමක් විය.

මේ ද්විත්ව ශතකය හේතුවෙන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ පන්දුවක් වැදීමෙන් ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි අළු බඳුන තරගයේදී ස්මිත් ආබාධයට ලක්විය. ඒ වනවිට ඔහු මෙවර අළු බඳුන තරගාවලියේදී මුල් තරග දෙකේදී ශතක 2ක් සහ අර්ධ ශතකයක් රැස්කර තිබිණි. ඊට ලකුණු 144ක්, 142ක් සහ 92ක් ඇතුළත් වූහ.

මේ තරගයේදී මර්නස් ලබුස්චැන් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 116ක් එක්කළ ස්මිත් නායක ටිම් පේන් සමගින් 6 වැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 145කි. මිචෙල් ස්ටාක් සමගින් 8 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක් කිරීමටද සමත්වූ ස්මිත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 438ක් විය. පන්දු 319කට මුහුණදුන් ඔහු හතරේ පහර 24කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. 30 හැවිරිදි ස්මිත් රැස්කළ තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය මෙයයි.

ලබුස්චැන් ලකුණු 67ක්, පේන් ලකුණු 58ක් සහ ස්ටාක් නොදැවී ලකුණු 54ක් ඉනිමට එක් කළහ.

පන්දුව වැදීමෙන් ස්මිත් ආබාධයට ලක්වීමත් හේතුවෙන් ඔහු වෙනුවට දෙවැනි තරගයේදී පිටියට පිවිසි මර්නස් ලබුස්චැන් පිට පිට ලබාගත් සිවුවැනි අර්ධ ශතකය මෙයයි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ආචර්ට කඩුලු දවා ගැනීමට නොහැකි වීමද විශේෂ සිදුවීමක් විය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here