ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ට දිරි දීමනාවක්

0
23


දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා උතුරු කොරියාව අතර තරගයේදී උනන්දුවෙන් ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන්ට අමතර දිරි දීමනාවක් ගෙවීම සඳහා ඉදිරි කවුන්සිලයට යොජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා සූදානම් වෙයි.

එම යෝජනාවට ලේකම් යූ. එල්. ජස්වර් මහතා ඇතුළු බහුතර පිරිසක් සහයෝගය දීමේ සූදානමකින් පසුවෙති. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් ලබා ඇති දියුණුව ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත දැනට ලබාදෙන මාසික වේතනයට අමතරව මේ දිරි දීමනාව ලබාදීමට අපේක්ෂා කෙරේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 37වැනි ස්ථානයේ සිටින උතුරු කොරියාව වැනි කණ්ඩායමකට එරෙහිව 200 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග කළ අයුරු සිත්ගන්නා සුලු එකක් වූ බව ඒ මහතා පැවැසීය. කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පැවැති තරගයෙන් උතුරු කොරියාව ගෝල් 1-0ක ජයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටන්කාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළහ.

‘අපට සිදුවූ එකම ප්‍රශ්නය අවසන් විනාඩි කිහිපයේදී ක්‍රීඩකයන් වෙහෙසට පත්වීම. ඒ ගැන විශෙෂඥ උපදෙසක් ගෙන ඉදිරියේදී ඒ අඩුපාඩුව සකසා ගැනීමට කටයුතු කරනවා. එලෙස ක්‍රීඩකයන් වෙහෙසට පත්වීම හා මස්පිඩු පෙරැළීම වැනි ආබාධ සිදු වන්නේ ක්‍රීඩකයන්ට ලබාදෙන අභ්‍යාසවල වරදින් ද, නොඑසේනම් ධාරිතාවයේ අඩුපාඩුවක්ද යන්න විමසා බැලිය යුතුයි. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ඉතා ඉක්මණින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා’ පාපන්දු සභාපතිවරයා පැවැසීය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළග තරගය ලබන මස 10 වැනිදා දකුණු කොරියාව සමග සෝල් නුවරදී පැවැත්වෙන අතර එම තරගයට පෙර මේ අඩුපාඩු සකස් කරගත යුතු බව සිල්වා මහතාගේ අදහස විය.

උතුරු කොරියාවට එරෙහිව දක්ෂ ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ගෝල් කීපර් සුජාන් පෙරේරා උතුරු කොරියානු ගෝල් අවස්ථා 7ක් පමණ වැළක්වීමට සමත්වූ අතර ඔහු තුන්වතාවකදී පාදයේ ආබාධයට ලක් විය. එමෙන්ම නායක කවිදු ඉෂාන් උතුරු කොරියානු ක්‍රීඩකයකු සමග ආරක්ෂක කලාපයේ කරට කර ක්‍රීඩා කරමින් සිටියදී මසුපිඩු පෙරැළීමකට ලක්විය.

මේ තරගයේ මුල් විනාඩි 63ක් ශ්‍රී ලංකා පිලේ කිසිදු ආදේශනයක් නොවූ අතර වෙහෙසකර තත්තවයන් හමුවේ මොහොමඩ් අමානී වෙනුවට නිරේෂ් සුන්දරරාජ් ක්‍රීඩා පිටියට කැඳවීමට පුහුණුකරු පකීර් අලී මහතා තීරණය කළේය. එමෙන්ම තරගයේ 80වැනි මිනිත්තුවේදී මැද පෙළ ක්‍රීඩක ධනංජූ මධුෂාන් ඉවතට ගෙන සසංග දිල්හාර ක්‍රීඩා පිටියට කැඳවීය. උතුරු කොරියානු පිලේ එක් ආදේශයක් පළමු භාගයේදී සිදු කෙරුණි. ශ්‍රී ලංකා පිලේ ආරක්ෂක කලාපයේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළ හෙයින් උතුරු කොරියානු ක්‍රීඩකයන්ට වැඩි ගෝල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකිවූ අතර වෙනදාට වඩා ශ්‍රී ලංකා මැද පෙළ හොඳින් ක්‍රියාත්මක වූ හෙයින් පාපන්දුව ශ්‍රී ලංකා ප්‍රහාරක බල ඇණිය දෙසට ඇදී එනු දක්නට ලැබුණි.

තරගයේ පළමු භගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර විවේකයෙන් පසුව තරගයේ 66වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරියේ සිට උතුරු කොරියාවේ ජන්ග් කුක් කෝල් හිසෙන් පහරක් එල්ල කොට එකම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඡායාරූපය – සුලෝචන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here