ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අද ඇරැඹේ

0
35


දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිය දඟපන්දු යැවීමේ තුරුම්පු මත වැඩි විශ්වාසයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අද (14) පළමු ටෙස්ට් තරගයට එක්වෙයි.

ඩිල්රුවන් පෙරේරාගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව අතට හැරී නොමැති බැවින් අද තරගයට ඔහු වෙනුවට අකිල ධනංජය එක්වී සිටින අතර දකුණු අප්‍රිකාවේ දී තරග 2-0ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමෙන් කඩුලු 5ක් උදුරා ගත් වමත් දඟපන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියත් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

‘අකිල ධනංජයත්, ලසිත් ඇඹුල්දෙණියත් දඟපන්දු යවන්නන් ලෙස අද තරගයට ක්‍රීඩා කරනවා. ධනංජය ද සිල්වාත් ඉන්න නිසා අපිට තුන්වැනි දඟපන්දු යවන්නාගේ සේවයත් ලැබෙනවා.’ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න එසේ කීවේය.

ඊයේ දිනය පුරා ගාල්ලට තද වැසි ඇද හැලුණු අතර අයහපත් කාලගුණය මත දෙපිලටම පුහුණුවීම් සඳහා අවස්ථාවත් වර්ෂාවට සේදී ගියේය.

‘අපට තවම තණතීරුව බලන්න බැරිවුණා. වර්ෂාව නිසා. කොහොමවුණත් අවසන් කණ්ඩායම තීරණය කෙරෙන්නේ අද තණතීරුව නිරීක්ෂණය කළාට පස්සේ.’ දිමුත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කළෙකට පසුව ටෙස්ට් සංචිතයට ඇතුළත් වූවත් අද තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමිව ගියේය. චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් ඇත්තේ කඩුලු රකින්නා ලෙසට බව මීට පෙර ශ්‍රී ලංකා පිලේ නායකයා ප්‍රකාශ කර තිබුණු අතර අද තරගයේ දි කඩුලු රැකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ලට පැවැරී තිබීමෙන් චන්දිමාල්ට අවස්ථාව නොලැබිණි.

ඩිල්රුවන් පෙරේරාගේ ආබාධ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව ද, ඔහුට කොළඹ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි ද දිමුත් විශ්වාසය පළ කළේය.

ඊයේ දෙපිලේහිම නායකයෝ එකම අවස්ථාවක එකට අසුන්ගෙන මාධ්‍ය හමුවට පෙනී සිටි අතර ජාත්‍යන්තර ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි තරගමාලාව ලෙස අද ඇරැඹෙන මේ ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණයෙන් නිමා කිරීම එකම අදිටන බව ලෝක එක්දින අනුශූරයන් වන නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් කියා සිටියේය.

ශ්‍රී ලංකා පිල මෙන්ම නවසීලන්ත පිලත් අද තරගයට දඟපන්දු යවන්නන් දෙදෙනකු භාවිත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. කටුනායක පැවැති පුහුණු තරගයේදි කඩුලු 5ක් දවාලූ අජාස් පටේල් සමග පාදඟ පන්දු යවන ටොඩ් ඇස්ල් අද තරගයට එක්වී සිටිති.

මේ තරගමාලාව 2-0කින් ජයගැනීමෙන් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමේ අවස්ථාව නවසීලන්තයට ලැබේ. එසේ වුවත් තම කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන්ගේ අවධානය යොමුවී ඇත්තේ ඒ සඳහා නොවන බව විලියම්සන් කීවේය.

‘ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ලැබුණොත් හොඳයි. ඒත් අපේ ඉලක්කය තරගමාලාව ජයගැනීමයි. ටෙස්ට් ශූරතාවලියට අයත් නිසා කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් අද තරගයේදි උපරිම දස්කම් දැක්වීමට සූදානමින් සිටිනවා.’ විලියම්සන් පැවැසීය.

මේ දක්වා දෙපිල අතර ටෙස්ට් තරග 34ක් පවත්වා ඇති අතර ඉන් තරග 15ක ජය නවසීලන්තයටත්, තරග 8ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවිය. ඉතිරි තරග 11ම නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය.

ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිට ටෙස්ට් තරගමාලා තුනකට සත්කාරකත්වය ලබාදීමෙන් පසුව සිය ප්‍රතිවාදීන්ගේ භූමියට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම මේ හඹා යන්නේ ඔවුන් පිට පිට ජය ලැබීමට සූදානම් වන 6 වැනි ටෙස්ට් තරගමාලාවය.

අවසන් වරට 2012දී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගමාලාව 1-1කින් සම කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් 2009න් පසුව මෙතෙක් සිය භූමියේදි නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට නොහැකි විය.

එහෙත් දකුණු අප්‍රිකාවේ දී සිය අවසන් ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස විශිෂ්ට අයුරින් ජයගත් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලේ අරමුණ වී ඇත්තේ නවසීලන්තයට එරෙහිව අද ඇරැඹෙන මේ ටෙස්ට් තරගමාලාවේදිත් ඒ හා සමාන ජයග්‍රහණයක වාර්තා කිරීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here