ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 ට වසර 3කට පසු ස්මිත් කැඳවයි

0
14


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ මස අගභාගයේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබේ.

ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් 14 දෙනකුගෙන් සමන්විත සංචිතයට සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් කැඳවා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

වසරක තරග තහනමකින් පසුව එක්දින ලෝක කුසලාන තරගාවලියේදී යළි ක්‍රිකට් පිටියට පිවිසි ස්මිත් අවසන් වරට විස්සයි20 තරගයට එක්වූයේ 2016 වසරේ මාර්තු 27 වැනිදා ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීය. විස්සයි20 තරග 30කට ක්‍රීඩා කර ඇති ඔහු, අර්ධ ශතක 2ක් සමගින් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 431කි. වේග පන්දු යවන ක්‍රීඩක බිලී ස්ටැන්ලේක් සහ කඩුලු රකින පිතිකරු බෙන් මැක්ඩෙමට් ද මේ සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවය.

ඔවුන් දෙදෙනාම අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් මස ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගවලට එක්ව තිබේ. අළු බඳුන තරගාවලියේ දී අසාර්ථක වූ ඩේවිඩ් වෝනර් සමගින් මිචෙල් ස්ටාක් ටද මේ සංචිතයේ ඉඩ වෙන්වී තිබේ. මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලියට එක්වූ ඩි’ආකි ෂෝට්, නේතන් කුල්ටර් නයිල්, පීටර් හෑන්ඩ්ස්කොම්බ්ට ස්ථාන අහිමි වී ඇති අතර ආබාධයක් හේතුවෙන් ජේසන් බෙහෙරන්ඩොෆ් සංචිතයට එක්කර නැත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි20 තරගය මේ මස 27 වැනිදා ඇඩිලේඩ් හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 30 වැනිදා බ්‍රිස්බේන් හිදීත්, තෙවැනි සහ අවසන් තරගය ලබන මස 1 වැනිදා මෙල්බර්න්හිදීත් පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහාද මේ සංචිතයම එක් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එම තරග නොවැම්බර් 3, 5 සහ 8 වැනිදා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here