ශතක දෙකකින් වර්ණවත් වූ ස්මිත්ගේ දෙවැනි ගමන

0
59


මීට වසරකට පෙර දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ අපකීර්තියට ලක්වී වසරක තරග තහනමකට ලක්වී සිටි ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීව් ස්මිත් සිය දෙවැනි ගමන ආරම්භ කරමින් එංගලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර පැවැත්වෙන අළු බඳුන පළමු ටෙස්ට් තරගයේ ඉනිම් 2දීම ශතක ලබා ගැනීමට සමත්විය.

මේ තරගයේ පළමු ඉනිමේදී එංගලන්තයේ ක්‍රීඩාලෝලීන්ගේ හූ හඬ මැද්දේ පිටියට ගිය ස්මිත් ආපසු ක්‍රීඩාගාරයට ආවේ ලකුණු 144ක්ම රැස් කිරිමෙන් පසුව හූ හඬ දුන් නරඹන්නන්ගේම අත්පොලොසන් හඬ මැදය.

ඉන් නොනැවතුණු හෙතෙම ඔස්ට්‍රේලියානු පිලේ දෙවැනි ඉනිමේදිත් ලකුණු 142ක් රැස් කරමින් වාර්තාපොත අලුත් කළ අතර පන්දුව පළුදු කිරිමේ අපකීර්තිය ඉතා අපූරුවට මකා දමමින් නැවත වරක් ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ට පිතිකරුවකු ලෙස නැගී සිටියේය.

‘මගේ හැකියාව ගැන ඇති විශ්වාසය මම කවදාවත් නැති කරගත්තේ නෑ‘ පිට පිට දෙවැනි ශතකය රැස් කිරීමෙන් පසුව ස්මිත් මාධ්‍ය හමුවේ එසේ කියා සිටියේය.

පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට ස්මිත් සමග උපනායක ඩේවිඩ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරොන් බැන්ක්‍රොෆ්ට් ද හසුවූ අතර අළු බඳුන තරගයට මේ තිදෙනාම ක්‍රීඩා කිරීම කැපී පෙනේ.

‘ඒක හරියට හීනයක් සැබෑවීමක් වගේ. ඉනිම් 2දීම ශතක රැස් කිරිම, අළුබඳුන පළමු තරගයේදී එම වාර්තාව තැබීම…එවැනි දෙයක් මම මගේ ජිවිතයේ මීට කළින් කිසිම ආකාරයේ තරගයක කරලා නෑ. ඒක විශ්මිතයි.‘ ස්මිත් සතුටින් උද්දාමයට පත්වී සිටියේය.

මීට පෙර අළුබඳුන ටෙස්ට් ඉතිහාසයේ දී එක් තරගයක ඉනිම් 2දීම ශතක රැස් කර ඇත්තේ පිතිකරුවන් අතලොස්සක් පමණි. ඒ අතර ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සිවුදෙනෙක් සිටින අතර එංගලන්ත පිතිකරුවන් තිදෙනකු වෙති. අවසන් වරට එම දස්කම පෑවේ ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් හේඩ්න්ය. ඔහු 2002 බ්‍රිස්බේන් නුවර පැවැති අළු බඳුන ටෙස්ට් තරගයේදී එම වාර්තාව තැබුවේය. බර්මින්හැම් නුවරදී එවැනි දස්කමක් පෙන්නුම් කළ දෙවැනි පිතිකරුවා ස්මිත්ය. ඊට පෙර 2004දී එංගලන්තයේ මාකර් ට්‍රෙස්කොතික් කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී ඉනිම් 2දීම ශතක වාර්තා කර තිබිණ.

අළුබඳුන ටෙස්ට් තරග ඉතිහාසයේ සිය අවසන් ඉනිම් 10දී ස්මිත් ශතක 6ක් වාර්තා කර ඇති අතර දැන් ඔහු අළුබඳුන ටෙස්ට් ඉනිම් 10කදී ලකුණු 1116ක් ලබා සිටී. ඒ අතින් ඔහු දෙවැනි වන්නේ ලොව ශ්‍රේෂ්ඨතම පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණි. මේ ශ්‍රේෂ්ඨ පිතිකරුවා වසර 1937 සිට 1946 දක්වා කාලය තුල අළුබඳුන ටෙස්ට් ඉනිම් 10කදී ලකුණු 1236ක් රැස් කළේ ශතක 7ක් සමගිනි. ස්මිත්ගේ මේ විශිෂ්ට පිතිහරඹයත්, පසුව පිටියට පැමිණි මැතිව් වේඩ්ගේ ශතකය නිසාත් සිය දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 487ක් රැස් කළ ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය සඳහා ලකුණු 298ක ඉලක්කයක් එංගලන්තය හමුවේ තැබුවේය. තරගයේ ජය පරාජය විසඳා ගැනීමට තව දින දෙකක්ම තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here