විශ්වාසභංග විවාදය අතරතුර මහින්ද – රනිල් රහස් හමුවක

0
27


ආණ්ඩුවට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබෙන විශ්වාසභංග විවාදය අතරතුරු මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හොර රහසේ මුණගැසී රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය කර සිටියේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයේ විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී මීට සුළු මෙහොතකට පෙර සිදු කළ ප්‍රකාශයකිනි.

එහිදී බිමල් රත්නායක මහතා අනාවරණය කර සිටියේ පසුගිය දින 52 අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි මන්ත්‍රීවරු 05 දෙනාට අද (11) විශ්වාසභංගයේ ඡන්දය විමසන අවස්ථාවට සහභාගී කර නොගැන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවයි.

එම මන්ත්‍රීවරු මෙම විශ්වාසභංගයට පක්ෂ වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවේයැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් එම මන්ත්‍රීවරු 05දෙනාට අද විශ්වාසභංගයේ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගී නොවන්නැයි දැනුම්දී ඇතැයිද බිමල් රත්නායක මහතා එහිදී පැවසීය.

තමන් සමග සිටින මන්ත්‍රීවරු 97 දෙනා අද පස්වරුවේ ඡන්ද විමසන අවස්ථාවට ගෙන්වා පෙන්වන්නයැයිද බිමල් රත්නායක මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක්ද සිදු කළේ ය.

විශේෂයෙන් වාර්තාවන අන්දමට මෙම රහස් සාකච්ඡාව සිදුව ඇත්තේ අද දහවල් 12ත් 12.30ත් අතර අගමැති කාර්යාලයේ දෙවෙනි මහලේ විශේෂ කාමරයකදීය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here