විශ්වාසභංග යෝජනාව: “ඊයේ රෑ ගත් තීරණය” මහින්ද අමරවීර හෙළිකරයි

0
55


Image copyright
Getty Images

මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් පක්ෂ “නිවැරදි තීන්දුවක් ගෙන” බ්‍රහස්පතින්දා (ජූලි 11) විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ නම් මේ සුළුතර ආණ්ඩුව පලවා හැරීම අපහසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (ජූලි 10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංගයට අදාළ විවාදය ආරම්භ කරමින් ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුව පරාජය කර ජනතාවට අලුත් මහ මැතිවරණයක් දිනා දීම තම පක්ෂයේ අපේක්ෂාව වන බවය.

Image copyright
Sri Lanka Parliamnet

නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගෙන පාස්කු ඉරිදා (2019-04-21) මහා විනාශයක් වෙන්නට ඉඩ හරින ලද ආණ්ඩුවට තවදුරටත් රටේ ආරක්ෂාව හෝ ජනතාවගේ ආරක්ෂාව හෝ භාර දිය නොහැකි බව අනුර කුමාර දිසානායක පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කළේ, නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ආණ්ඩුව සිය වගකීම පැහැර හැර ඇති බවය.

”මේ අපරාධයට වගකිව යුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි ප්‍රහාරය සැලසුම් කරලා, එය ක්‍රියාත්මක කරලා මහා විනාශයක් කරපු අය. ඉන් කිහිප දෙනෙක් මැරිලා. ඉතුරු අයට එරෙහිව දැන් සීඅයිඩී එක, ටීඅයිඩී එක පරීක්ෂණ කරනවා. සමහරු අත්අඩංගුවේ. නමුත් මේකට වගකිව යුතු එක කණ්ඩායමකට දඬුවමක් නෑ. ඔවුන් තමයි මේ ඛේදවාචකය දැනගෙනත් ඊට ඉඩ දී බලා හිටපු ආණ්ඩුව,” යනුවෙන් අනුර කුමාර දිසානායක පැවසීය.

රජයේ පාර්ශවය නියෝජනය කරමින් ඔහුගේ කතාවට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ, මෙම විශ්වාසභංග යෝජනාවට ආරක්ෂක ඇමතිවරයාගේ නම සඳහන් නොකිරීම තුළින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට මඩ ගැසීමේ අරමුණින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.

යම් සිද්ධියක් ගැන තොරතුරු ලැබී තිබුණ ද දින වකවානු ආදී නිශ්චිත තොරතුරු ලැබී නොතිබුණ බව ද සභානායකවරයා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබා දීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අඟහරුවාදා (ජූලි 09) කළ නියෝගය උපුටා දක්වමින් සභානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී නොතිබුණු බව එහිදී තහවුරු වූ බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය තේරුම් ගැනීමට එම ඇප නියෝගයේ සඳහන් කරුණු ඉතා වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

  • “හේමසිරිට සහ පූජිත්ට එරෙහි මිනීමැරුම් චෝදනා පදනම් විරහිතයි”

මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (ජූලි 11) පැවැත්වීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය භාවිත කිරීම පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවසුවේ විශ්වාශභංගයට පක්ෂව ඡන්දය ලබා දීමට ඊයේ රාත්‍රියේ පැවති රැස්වීමකදී තීරණයක් ගත් බවය.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද වත්මන් ආණ්ඩුවට එරෙහිව, විශ්වාස භංග යෝජනාවට සහාය පළකරමින් සිය ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

විශ්වාසභංග යෝජනාව

“වර්ෂ 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දින කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 250කට අධික පිරිසක් ඝාතනය වීමත්, තවත් පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහ එකී බෝම්බ ප්‍රහාර හේතුවෙන් වූ දේපොළ හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසැලකිල්ලෙන්” ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙය ඉදිරිපත් කෙරුණේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා විසිනි.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පහත සඳහන් කරුණු පදනම් කරගෙනය.

තවදුරටත් කියවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here