විශ්වාසභංග යෝජනාව: ඇමෙරිකානු ගිවිසුම් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

0
65


Image copyright
Sri Lanka Parliament

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති කර ගැනීමට නියමිත ඇක්සා ගිවිසුමේ සැබෑ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බ්‍රහස්පතින්දා (ජූලි 11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් ඔහු පැවසුවේ, “කැබිනට් එකට දැම්ම ගිවිසුමේ පිටු 7ක් තිබුණාට ඇත්ත ගිවිසුමේ පිටු 83ක් තිබෙන,” බවය.

එම ගිවිසුමේ පිටපතක් සභාගත කරන බව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙවැනි රජයකට තවදුරටත් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැති බවය.

  • “ඊයේ රෑ ගත් තීරණය” මහින්ද අමරවීර හෙළි කරයි

“වගකීමෙන් මිදෙන්න බැහැ”

අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සභාව අමතමින්, පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් “තමන් ද ඇතුළු රජය, රජයේ නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් සියලු දෙනාට වගකීමෙන් මිදිය නොහැකි,” බව ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ, එම තත්ත්වයට කවුරුන් වගකිව යුතු වුව ද ඊට විසඳුම “ආණ්ඩුව ගෙදර යවලා රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීම නොවන,” බවය.

“මේ රටේ හැම දා ම සිදු වුණේ,ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ සෑම අවස්ථාවක ම ඒ පිළිබඳ දේශපාලන වගකීම,කාට හරි දාලා,කවුරු හරි වැරදිකාරයා කරලා, ත්‍රස්තවාදයට වක්‍රාකාරයෙන් සහයෝගය ලබා දීම තමයි.”

මේ අතර, රජය කිසිදු ගිවිසුමක් මගින් වෙනත් විදේශ රටක ගැත්තෙකු වීමට ක්‍රියා නොකරන බව ද ඔහු පැවසීය.

“2007දී ඇමෙරිකන් පුරවැසියෙකු වෙච්ච ගෝඨාභය රාජපක්ෂ, ඇමෙරිකාවේ රොබට් බ්ලේක් සමග ගිවිසුම් ගැහුවා. ඒවා කැබිනට් එකට ගෙනාවේ නැහැ. දැන් රොබට් බ්ලේක් රාජපක්ෂලාගේ අනාගතය ගැන දේශන තියන එක ගැන මේ යැන්කියන් මොක ද කියන්නේ? කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති අයගේ කෑඳැති කතාවලට ජනතාව මුළා විය යුතු නැහැ.”

“ආණ්ඩුව අසමත්”

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2015 පිහිටුවන ලද රජය ආර්ථිකය දියුණු කිරීම, සහන සැලසීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා මහජන ආරක්ෂාව තහවුරු කිරීම යන සෑම අංශයකින් ම අසමත් වී ඇති බවය.

මෙම විශ්වාසභංග යෝජනාව නිශ්චිත ප්‍රශ්නයක් මුල් කරගෙන ආණ්ඩුව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේය.

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (ජූලි 11) සිදු කිරීමට නියමිතය.

තවදුරටත් කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here