විනයක් හදන්න එන ගෝඨාගේ සමුළුවකට නීති විරෝධීව කම්කරුවන් රැගෙන ගිහින්

0
23


මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලියක් ලෙස කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (02) පවත්වන ලද සමුළුවක් සඳහා කැස්බෑව නගර සභාවේ ස්ථීර සහ ව්‍යාපෘති සේවකයින් 35ට ආසන්න ප්‍රමාණයක් සභාපතිවරයාගේ සහ එහි වැඩබලන ලේකම්වරයාගේ පූර්ණ අනුමැතිය හා අනුග්‍රහය යටතේ නීති විරෝධී ලෙස රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිතිවලට අදාළ සමුළු සඳහා රාජකාරි නිවාඩු අනුමත වන අතර එය අනුමතකරගැනීමේ ක්‍රියා පටිපාටියක්ද තිබේ. අදාළ වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ඒ ඒ රාජය ආයතන වෙත ලිඛිතව නිල ලෙස දන්වා එම සේවකයන් රැගෙන යා යුතුය.

කෙසේ නමුත් මෙය එවැනි සමුළුවක් නොවන අතර මෙය ප්‍රධාන වශයෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධය කිරිමේ අරමුණෙන් පවත්වන්නකි.

මෙලෙස සේවකයන් රැගෙනයාම හේතුවෙන් නගර සභාවේ දෛනික වැඩකටයුතුවලටද බාධා සිදුව ඇති අතර මෙම සේවකයන් සභාවේ රාජකාරී සඳහා වාර්තා කිරීමෙන් පසු ඔවුන් සිය ඇඟිලි සටහන් යන්ත්‍රවල සටහන්ද යොදා තිබියදී මෙලෙස රැගෙනගොස් ඇත.

නීතිය ආරක්ෂා කරන බවත් විනයගරුක සහ යහපත් රටක් ගොඩනැගීමටත් යැයි කියමින් බලයට ඒමට පොර කන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා මේ මොහොතේ සිටම මෙලෙස පළාත් පාලන ආයතනවල මෙවැනි අනීතික කටයුතු සිදුකරන්නේ නම් බලය ගත් කළ මොවුන් තුළින් ඉතා භයානක තත්වයක් අත්විඳින්නට සිදුවනු ඇත.

මෙය පැවති රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ ක්‍රියාදාමය යළි සිහිගන්වන්නක්ද වන අතර මෙවැනි දේශපාලන රැස්වීම්වලට තම පෞද්ගලික නිවාඩු අනුමත කරගෙන යන්නේනම් එයට කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි නමුත් මේ සිදුවන්නේ දේශපාලන රැස්වීම්වලට තම දේශපාලන බලය යොදවමින් රාජ්‍ය සේවකයන් නීතිවිරෝධී ලෙස රැගෙන යාමයි.

මෙයට එරෙහිව කැස්බෑව නගර සභාවේ ජවිපෙ මන්ත්‍රීවරු විසින් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිඛිතවම පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයේන ඉදිරියේදී විමර්ශනයක් සිදු කිරීමටද නියමිත ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here