—වැසි දා ආ ආගන්තුකයා— – –හොල්මන් කතා–

0
555


ඔන්න කාලෙකින් පස්සෙ තමයි මම ගෲප් එකත් එක්ක එකතු වෙන්නෙ….මේක මගේ පස්වෙනි කතාව…කලින් කතා හතරටම ගොඩක් හොද ප්රතිචාර හම්බවුණා වාගෙම මේ කතාව ලියන්නත් ඒ ප්රතිචාර බලපාන්න ඇති…..කොහොම වුණත් සමූහය තුළ දිගහැරෙන මේ කතාවත් වෙනත් කෙනෙකුගේ සත්ය අත්දැකීමක් පදනම් කරගෙන ලියැවුණු එකක්…..

හරි….ඔන්න මම අද ඔයාලව අරගෙන යන්නේ මීට අවුරුදු කිහිපයක් ආපස්සට.. මේ
කතාව වෙලා තියෙන්නේ 2009 වගේ කාලෙක.. මේ අත්දැකීමට මුහුණ දුන්නේ මගේ පවුලේම
සමීප කෙනෙක් නිසාවෙන් සත්යතාවය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. නිර්මාණාත්මක අවශ්යතාව කරණකොටගෙන යම් යම් සිදුවීම් මාගේ අවශ්යතාව පරිදි වෙනස් කළත්, මෙය සත්
සිදුවීමක් බව නැවත නැවතත් මෙනෙහි කරමි……කතාවේ රසය හා විශ්වාසනීත්වය
තහවුරු කරනු වස් මෙම කතාව මට අවැසි වූ අකාරයෙන් වෙනස්ම දෘෂ්ටිකෝණයකින්
යුක්තව දිගහරිමි……

************************************************************

අක්කර කිහිපයක් පුරා පැතිරී ඇති අප ගෙවත්ත සිහිල් සුවදායී තැනක් වූවා සේම
නිවස ඉදිරිපස ඇති වෙල්යායෙන් සිහිල් සුළං රැල්ලක් හමාවිත් ගතේ තැවරෙද්දී
දැනෙන නිරාමිස සුවයට මම බෙහෙවින් ඇළුම් කෙරුවෙමි… එහෙයින් බොහෝ නිදහස්
දිනයන්හි හාන්සි පුටුවට වී කෝපි කෝප්පයක් තොලගාමින් පොතක් බැලීම හෝ දෑස්
අයාගෙන රාත්රී කාලයට අහසේ තරු රටා දෙස බලමින් කාලය ගත කිරීම මාගේ ප්රියතම විනෝදාංශය විය…
සුපුරුදු පරිදි නිවසේ ඉදිරිපස ආලින්දයේ ඇති හාන්සි පුටුවට වී මා මහජන
පුස්තකාලයෙන් රැගෙන ආ පරිවර්තනයක් කියවීමි……අද ඉරිදා නිසාත් කාර්යාලයේ නිවාඩු නිසාවෙනුත් නිවාඩු පාඩුවේ පොතක් බැලීමට හැකිවීම උද්යෝග්යමත් කරුණක් වූ අතර නිසොල්මන්ව මා භාවනාවකට සමවැදුණාක් සේ පොත් පිටු අතර තනිවීමි……

ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු වශයෙන් කාර්යබහුල
සතියක් ගත කරන මා ඉරිදා දවසම පොත් සමග ගත කිරීමට නිරන්තරයෙන් වෙහෙසුණෙමි.
කුඩාකළ සිටම අතට හසුවන ඕනෑම පොතක් කියවීමට ඇබ්බැහිවී සිටි නිසාවෙන්
කාලෙකින් ලැබුණු ඉංග්රීසි නවකතාවක
සිංහල පරිවර්තනය ඉතා ගිජුකමින් යුක්තව එක හුස්මට කියවීමි…. අන්තිම
පරිච්ඡේදය දක්වා කියැවූ මට දවස ගෙවීයනවා නොදැණින. නිවසට මදක් ඔබ්බෙන් ඇති
ගොවිපොළෙහි සීනුව සය වතාවක් නාද වී නිහඬ විය….
“හවස හයත් පහුවෙලා…” මම මටම මුමුණා ගතිමි.

නිවස ඉදිරිපස ඇති වෙල්යායට ඔබ්බෙන් ඇති රූස්ස මාරගස්, කුඹුක් ගස් අතරින්
හිරුගේ අන්තිම මළානික ආලෝක කදම්භයන් පොළොව සිප ගනිද්දී මා කිවමින් සිටි
නවකතාව පසෙක තබා ඇළ කණ්ඩිය දෙසට පියමං කෙරුවේ බුදු පහන තැබීමට අවැසි
වතුසුදු මල් නෙළා ගැනීමේ ඇටියෙනි….
ඉමක් කොනක් නොපෙනෙන වෙල්යායට
සමපාතව ඉන් ඔබ්බට වන්නට ඇති තල්විල ඇළ සුදෝ සුදු පෙණ පිඩු නංවමින් නිසලව
ගලා බසින අතර කුඹුක් ගස් වලින් ආවරණය වූ ඇළ ඉවුර දෙසින් හමා ආ සුළං
රැල්ලක් මිදුල හරහා ආලින්දයට කඩාවැදුනේ ගතෙහි හීගඩු නංවමිනි….

මා එකින් එක සීරුවෙන් මල් නෙළා නිවස දෙසට යාමට සැරසෙත්ම අසල්වැසි නිවසට දෙසට වේගයෙන් පැමිණි ත්රී
රෝද රථයක් හීයක වේගයෙන් එම නිවස ඉදිරිපස නතරවිය….කුමක් හෝ හෝ හදිසි
උවමනාවක් ඇතැයි සිතූ මා අප නිවස දෙසට යෑමට පියවර තැබීමි…..

“බුදු
අම්මේ…. අනේ රත්තරනේ ….අනේ දෙයියනේ…..මොකද රත්තරනේ මේ වුණේ……මගෙ
කෙල්ලට මොකද දැන් වෙන්නේ?? මට දැන්ම යන්න ඕනි…අනේ මට බැරියෝ…..”
අතැති මල්වට්ටියේ මල් දසත විසිරෙද්දී මා අසල්වැසි නිවසට වේගයෙන් දිව ගියෙමි….
එම නිවසේ ජීවත්වූයේ අප ගමට අලුතින් පදිංචිය සඳහා පැමිණි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් වන අතර දෙදෙනාම විශ්රාමික ගුරුවරුන් වේ…….ඔවුන් මෙහි පදිංචියට පැමිණ කෙටි කාලයක් වුවත් ඔවුන් හා අප අතර ගොඩනැගී තිබුණේ දැඩි මිත්රත්වයකි….සෑම් අංකල් හා විනීතා ආන්ටි වශයෙන් ඔවුන් අසල්වාසීන් කා අතරත් ප්රසිද්ධ වූයේ කාරුණික, ප්රියමනාප මෙන්ම උගත් වියපත් යුවලක් නිසා වන්නට ඇත.
එහෙයින් මා දැඩි සේ කළබලයට පත්වූයේ ඔවුන්ගෙන් කෙනෙක්ට කුමක් හෝ කරදරයක් වී
ඇති බව හැඟුණු හෙයිනි.මන්ද යත්, ඔවුන් දෙදෙනාම අධික රුධිර පීඩනයෙන් පෙළුණු
අතර මීට දින කිහිපයකට ඉහතදී ද සෑම් අංකල් දැඩි සේ රෝගීව රෝහල්ගත කළ
බැවිණි…..
නමුත් සිදුව තිබුණේ වෙනත් දෙයකි…

සෑම් අංකල්
හා විනීතා ආන්ටි දෙදෙනාට දරුවන් දෙදෙනෙකු වු අතර වැඩිමහල් පුතු විදේශ රටක
දිවි ගෙවන අතර දියණිය අප ගමට මදක් ආතින් පිහිටි ගමක පාසලක ගුරුවරියක්
වශයෙන් සේවය කළාය….ඇගේ සැමියා වූ සරත් අයියාද ගුරුවරයෙක් වූ අතර ඔවුන්
සතියකට වරක් හෝ කිහිපවරක් සෑම් අංකල් හා විනීතා ආන්ටිව බැලීමට අසල්වැසි
නිවසට පැමිණෙන හෙයින් සරත් අයියාත් මමත් මිතුරන් වූවෙමු……
නමුත්
අවාසනාවකට සරත් අයියා අපව හැරදා සදහටම සමුගෙන තිබුණි…..සිය දරුවන්
දෙදෙනා අමතර පන්තියකට ගෙන ගොස් නැවත නිවස දෙසට පැමිණෙමින් සිටියදී සරත්
අයියාගේ මෝටර් සයිකලය බසයක ගැටීමෙන් එම ස්ථානයේදීම සරත් අයියා මෙලොව
හැරගොස් තිබුණි….
ඒ අනුව විනීතා ආන්ටිගේ විලාපයේ අරුත මට පසක් විය…….

==========================================================================
කාර්යාලයේ
මා හට සිදු කිරීමට පැවරී තිබූ ඉතා හදිසි රාජකාරි කටයුතු කිහිපයක් සමීපතම
මිතුරෙකුට පවරා දුන් මා අම්මා හා තාත්තාද කැටුව සරත් අයියාගෙ අවමඟුලට
සහභාගීමට ඔවුන් විසූ ගමට යෑමට ත්රීවීලරයක් කුලියට ගෙන නිවසින් පිටත් වන විටත් රාත්රී 7 ද පසුවී තිබුණි…..
පැයකට ආසන්න කාලයක ගමනකින් අනතුරුව අප මළගෙදරට ළඟා වූ අතර ඒ වන විටත් හට්
ගසා සුදු කොඩි ඇද සියළු සැරසිළි ගම්වාසීන් විසින් සිදුකර තිබුණි….

ඒ වන විටද සරත් අයියාගේ දේහය නිවසට ගෙනවිත් නොතිබූ අතර දේහය නිවසට රැගෙන
එන විට අළුයම හතර වත් වේ යැයි ගම්වාසීන්ගේ අදහස විය. ඇක්සිඩන්ට් එකක්
නිසාවෙන් අළුයම හතර වෙද්දීවත් මිනිය ගන්නට හැකිවේදැයි මා තුළ සැකසංකා
පහළවිය.

කෙසේ වුවත් මළගෙදර වැඩ කටයුතු වලට හැකි ආකාරයේ උපරිමයෙන්
සහය වූ මා මාගේ පාසල් කාලයේ මිතුරන් කිහිප දෙනෙක් සමග ආගිය තොරතුරු කතා බස්
කරමින් පැය කිහිපයක් ගත කළෙමි….
ජංගම දුරකථනයේ වෙලාව රාත්රී 10.45 සනිටුහන් වෙද්දී හෙට සිදුකිරීමට යෙදී තිබූ වැඩ රාජකාරි පවරාදුන් මාගේ කාර්යාලීය මිතුරාගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක් දැක මා ඔහුට ඇමතුමක් ගත්තෙමි….
“මචං…..
ඔව් බන්…මම මළගෙදර තමයි ඉන්නේ…..මගේ ෆෝන් එක සයිලන්ස් වෙලා..උඹ මට කෝල් ගොඩක් අරන්…හදිසියක්ද බන්….??
හප්පට….එහෙමද බන්…හරි..හරි…බන්
මම ගෙදර ගිහින් එවන්නම්….හරි…මට විනාඩි දහයක් දිපන්කෝ….”
කාර්යාලීය මිතුරාට පැවරූ රාජකාරියේ අත්යවශ්යයම
දේ මට ඔහුම ඊ – මේල් කිරීමට අමතකව තිබුණි…Excel ෂීට් කිහිපයක් හා
Documents කිහිපයක්ම ඒ වෙනුවෙන් ඔහුට යැවිය යුතුව ඇති නමුත් කළබලය නිසාවෙන්
එය මට අමතක විය..

නිවසේ පරිගණකයේ (Laptop) තැන්පත්ව ඇති එම
ලිපිගොනු ඔහුට යැවීමට වෙනත් කිසිඳු විකල්පයක් නොමැති හෙයින් මිතුරෙකුගෙන්
යතුරු පැදියක් ඉල්ලාගෙන අම්මා හා අප්පච්චිට නොදන්වාම නිවසට ඒමට මා තීරණය
කෙරුවෙමි… අම්මාට කිවහොත් මට තනියෙන් නිවසට යෑමට නොදෙනා බව මා දන්නා
හෙයින් පැන නැගුණු දැඩි අවශ්යතාවය නිසාවෙන් යළිත් පෙරළා මළගෙදරට ඒමේ බලාපොරොත්තුවෙන් මා යතුරු පැදියේ නැගී නිවසට ඒමට පිටත් විය.

මළගෙදර සිටියදී සිහින් පොදයක්ව පැවති වැස්ස ටිකෙන් ටික වැඩිවන බැවින් 80
වේගසීමාවද ඉක්මවා මා වේගයෙන් යතුරුපැදිය නිවස දෙසට ධාවනය කෙරුවෙමි… වැහි
අඳුරත්,වැහි පොද නිසාවෙනුත් මාර්ගය පැහැදිලිව නෙපෙනෙන තරමට වැස්සේ වේගය ක්රමිකව වැඩිවූ අතර යතුරුපැදිය ධාවනය වූ වේගයට සමාන්තරව ඊ බරු මෙන් ඇද වැටෙන වැහි බිඳු නිසාවෙන් ගමනේ වේගය අඩාල විය..
අතරින් පතර හමුවන වාහන හැරෙන්නට පාරේ කිසිම වාහනයක් නැති තරම්ය.නිවෙස්වල
විදුලි බල්බවලින් නැගෙනා කණාමැදිරි එළි සරි ආලෝකය පසක් කර දුන්නේ කරන්ට් එක
ඩිම් වී ඇති බවකි….
හොල්මන් ,අවතාර, කරුවල, සීතල, වැස්ස, පහු
කරගෙන යන්න තියෙන සොහොන…. මේ හැම දෙයක්ම කොහේදො සිට එකවරම මගේ හිතට
කඩාපාත් වූයේ වැස්සෙන් ඇතිවූ සීතලද පරයා නැගුණු සීතලකින් මාගෙ පපුව
හිරිවට්ටමිනි……චකිතයක් හිත කොණක හොල්මන් කළද ආරක්ෂාකාරී ආකාරයෙන් මා
යතුරුපැදිය ධාවනය කළෙමි…සැතපුම් කණු එකින් එක පසු වෙද්දී වර්ෂාවේ වේගයත් ඒ
හා සමගාමීව යතුරුපැදියේ වේගයත් ක්රමිකව වැඩිවිය.

වෙලාව රාත්රී එකොලහ පසුවන්නට ඇත.මන්දයත්,අප නිවසට හැරෙන ගුරුපාර අයිනේ හන්දියේ ඇති කඩය මේ වනවිටත් වසා තිබිණ.සාමාන්යයෙන් මෙම කඩය රාත්රී
එකොලහ පමණ වන විට වසා දමයි.. මෙසේ විනාඩි විස්සකටත් අධික කාලයක් යතුරු
පැදියේ වේගයෙන් ගමන් කළ මා ගුරුපාරට පිවිසෙත්ම වේගය අඩුකර ගතිමි…

බොරළු අතුරා ඇති පටු මාර්යගේ
වළ ගොඩැලි මගහරිමින්, වතුරවළවල් මගහරිමින් ඉතා දුෂ්කර ගමනකින් අනතුරුව ,
තල්විල ඇළ හරහා ඉදිකර ඇති පාලම දකිද්දී නිම්හිම් නැති සතුටක් දැණින.. එනම්
ගමනේ අවසානය බොහෝ ආසන්න නිසාවෙන් අනවශ්යව
බියවීම ගැන මටම දොස් නගා ගනිමින් ,හිත යටින් මටම හිනාවෙමින් පිළිවෙලින්
කුඹුක් ගස් පෙළත්, අනතුරුව වෙල්යායත් පසුකර නිවසට පැමිණියෙමි…. නිවසේ
ආලින්දයේ යතුරු පැදිය නවතා තබා නිවසේ යතුරු කැරැල්ල තබා ඇති මල් පෝච්චියෙන්
යතුර ගෙන දොර විවර කර ගේ තුළට පිලිපන්නෙමි…
=======================================================================
තෙත බරිත වූ ඇඳුම් උණා දමා අඩක් තෙත බරිත වූ මුදල් පසුම්බියත්, උරයක බහාලූ මාගේ ජංගම දුරකතනයත් වියලීමට හැර පරිගණකය (Laptop) ක්රියාත්මක
කර මිතුරාට අවැසි Documents සෙන්ඩ් කෙළෙමි…තද කුණාටුවක් ආකාරයෙන්
ඇදහැලෙන වර්ෂාව හා සැරින් සැරේ ගිගුරුම් දෙන අකුණු නිසාවෙන් ඊ – මේල්
සෙන්ඩ් වූයේ ඉතා සෙමිනි…කිහිප වතාවක්ම Resend යනුවෙන් පරිඝණක තිරය මත
දිස්වෙද්දී අවසන් වරටත් මම යැවිය යුතු Excel හා Words Documents සියල්ල
සිලෙක්ට් කර Resend යන්න ක්ලික් කොට තබා දොර විවර කර ආලින්දයට
පිවිසුණෙමි……

වෙලාව රාත්රී
11.43 ලෙස ඔරලෝසුවේ සටහන් වෙද්දී දහවල් පොත කියවමින් සිටි හාන්සි පුටුවට වී
වෙල්යාය දෙස බැලීමි….වැස්ස තවමත් අඩුවන පාටක් නැත…ආපසු මේ වැස්සේ
මළගෙදරට යාමටද අකමැත්තක් පහළ වූ හෙයින් යතුරුපැදියේ අයිතිකාර යහළුවාට
ඇමතුමක් ගෙන මා යළිත් පෙරලා නොපැමිණෙන බවත්, හෙට උදේ පාන්දරින්ම යතුරු
පැදියත් ගෙන පැමිණෙන බවත්, ඒ බව අම්මා ට දැනුම් දෙන ලෙසත් දැන්වූවෙමි….
මේ වනවිට ඊ – මේල් පණිවිඩය sent වී ඇති නිසාවෙන් පරිගණකය ක්රියා විරහිත කොට නිවසේ සියළුම විදුලි බල්බයන් නිවා දමා නිදාගන්නට ඇඳට එද්දී මධ්යම රාත්රී දොළහේ සීනුව වැස්සේ හඬද පරයා ගොවිපොළ දෙසින් ඇසිණ…..

පැයකට ආසන්න කාලයක් වැස්සේ තෙමුණු නිසාවෙන් සියුම් හිසරදයක් සමග නහය බර
ගතියක් දැනෙන්නට වූ නිසාවෙන් මා බෙඩ් ෂීටය හිසවටා ජටාවක් මෙන් ඔතාගනිමින්
නිදන්නට සැරසුණෙමි….
අතොරක් නොමැතිව ඇද හැළෙන වර්ෂාවේ තීව්රතාවය කියාපාන්නට මෙන් වැහි බින්දු වීදුරු ජනේලයේ වැදී ගෙන දුන්නේ අමිහිරි හඬකි…..

“ක්රෝක්….ක්රෝක්…..තක්….තක්……”
තල්විල ඇල ඉවුරේ ඇති මාරගස් පෙළ ගැලවී යන්නට මෙන් සුළං හැමුවේ අතු
කිහිපයක්ම මහ හඬක් නංවමින් බිම පතිත කරවමිනි ….. වැස්ස තව තවත් මෝරන්නට
වූ අතර නිවසේ උළු කැට කිහිපයක් සුළං පහරක් සමග විසිවී යන හඬත් සමග හොල්මන්
අවතාර යළිත් මා මනසේ රෝපණය විය….
සියල්ල අමතක කොට බුදුබණ මෙනෙහි කරමින් විනාඩි කිහිපයක් ගැඹුරු හුස්මක ගිලුණු මට විනාඩි කිහිපයක් ඇතුළත නින්ද යන්නට ඇත……
“නිශාන්ත පුතේ….නිශාන්ත පුතේ….”
තද නින්දේ පසුවූ මා අවදි උඩ විසිවී අවදි වූයේ කිසිවෙකු විසින් මට කරන ආමන්ත්රණයෙනි…..ජංගම දුරකථනයේ අළුයම 2.45 වගෙයෙන් සටහන් වෙද්දී ,
නැවතත්…..

නිශාන්ත පුතේ….නිශාන්ත පුතේ….”
සෑම් අංකල්ගේ හඬ ඔවුන්ගේ නිවස දෙසින් ඇසෙත්ම මම නැගිට වහාම එළියට
ආවෙමි…මේ වනවිට වැස්ස පායා සිහින් පොදයක් පමණක් පතිත වූ අතර සෑම්
අංකල්ලාගේ නිවසේ ප්රධාන දොර විවෘත කර ඇතිවාක් මෙන් පෙනෙන කහපාටට හුරු ආලේකයක් නිවස තුලින් එළියට විහිදේ…..
ගෙම්බන්ගේ හා රැහැයියන්නේ අතොරක් නැති නාද රටාවන් ගෙන ආවේ මා කිසිදාක අත්
නොවිඳි මූසල නාදයකි…..දහවල් කාලයේ ශාන්තව ගලාගිය තල්විල ඇළෙන් නැගෙන්නේද
ශෝකාලාපයක් සරි අමිහිරි ඝෝෂාවකි….සුළං රැළ්ලක්වත් නොමැති වුවද ඇළ ඉවුරේ
ඇති මාරගස් එහෙට මෙහෙට වැනෙන්නේ කවුරුන් හෝ ඒවා බලෙන් තල්ලු කරනවාක්
මෙනි…..
මේ සියල්ල නෙතට ගෝචර වෙද්දී මා තිගැස්සුණු මනසකින් යුක්තව සෑම් අංකල්ලාගේ නිවස දෙසට පියමැන්නෙමි..

“අංකල්…..අංකල්…..??” මා ඇමතීමි.
ප්රතිචාරයක් නොවීය….
“අංකල්……අංකල්….” ඇත්තේ දරාගත නොහී නිහැඬියාවකි…..
“මළගෙදරට මොකක් හරි ඕනෑවෙලා ඇති..සෑම් අංකල් කවුරුහරි එක්ක එන්න ඇති..”
මා සිතුවෙමි…..
නැත.නිවසේ මිදුලේ වාහනයක හෝ කිසිම ජීවී පාදයක සටහනක් නැත….එසේ නම් මට
කතා කළේ කවුද? මම හීනයක් වත් දැකලද??මා මටම මුමුණා ගත්තෙමි…
මා සෑම් අංකල්ලාගේ නිවස ආසන්නයටම ගියෙමි…මා අප නිවසින් එනවිට විවෘතව තිබූ එම නිවසේ ප්රධාන දොර මේ වන විට වසා තිබුණි.එළියක්ද පෙන්නට නැත.
මම වැස්සට හොඳටම තෙමුණු නිසාත් මා නිකරුණේ බයවුණු නිසාවෙන් විකාර හීනයක් පේන්න ඇති. මා සිතීමි…

මා එසේ සිතමින් යළිත් අප නිවස දෙසට යෑමට සැරසෙත්ම මා දුට දසුනින් මා හිරිවැටී ගල්ගැසී ගියෙමි…..
මා මුළින්ම සඳහන් කළ ආකාරයට අප නිවස වටාම ඇත්තේ වෙල් යායක් වන අතර නිවසට
යාමට ඇත්තේද කුඹුරක් මැදිනි…මා අප නිවසේ දල්වා තිබූ බල්බයේ කහපාට ආලෝකය
පාරට මළානික ආකාරයෙන් වැටී ඇත….
මිනිසෙකුගේ අපැහැදිලි රුවක් අප නිවස දෙසට මට මීටර කිහිපයක් ඉදිරියෙන් ගමන් ගන්නා ආකාරය මට පෙනේ…..
බිමට නැබුරුකරගත් බැල්මෙන් යුතුව අප නිවස දෙසට පිය නගනා ඒ අපැහැදිලි රුව කාගේදැයි මට එකවරම ග්රහණය
කරගත නොහැකි වුවත්, ඒ සරත් අයියා යන්න තේරුම් ගැනීමට කෙටි වෙලාවක් පමණක්
ගතවිය..සුදු පැහැති ෂර්ට් එකේ පිටුපස මඩ හෝ ලේ තැවරී තිබුණි…හිසේ පිටුපස
කලු කෙස් වෙනුවට තිබුණේ හට්ටියක් මෙන් වූ කුහරයකි….

“ඔව්….ඒ සරත් අයියා තමයි…..” මගේ හිත සියදහස් වාරයක් මට කොඳුරා කියන්නට ඇති……
මා දැක්කේ එපමණකි..මා සිහිසුන් වූවාද,ක්ලාන්තය හැදුණාද යන්න තේරුම් ගන්නට තරම් සිහියක් මට නොවීය….
මා මට හැකි උපරිම වේගයෙන් නිවස දෙසට දුව ආවෙමි….හෙළනා හුස්ම මගින්
පෙණහළු පුපුරා යන ආකාරයේ කුණු ගඳකින් නහස් කුහර පෙරෙද්දී මා යාන්තමට නිවස
තුළට පැන දැඩි ආයාසයකින් දොර වසා දැම්මෙමි….දැඩි ආයාසයක් දරා හුස්ම
ගැනීමට උත්ශා කළෙමි…..නිවස වටා එක් එක් හඬවල් රොක් වන ශබ්දයත් ,පොල් ගස්
වලින් සිය දහස් ගණනින් පොල් ගෙඩි කඩනා ශබ්දයත් ,ජනෙල් දොරවල් කඩා බිඳ දමන
ශබ්දයත් එකිනෙක පරයා නැගෙද්දී මම එහෙමම සිහිසුන් වූවෙමි…

මේ කතාව සිද්දවෙලා දැනට අවුරුදු කිහිපයක් ගෙවිලත් ඉවරයි….එහෙම වුණත් මේ
අද්දැකීමට මුහුණදුන්න කෙනා අදටත් යතුරු පැදියක් පදින්නෙ නෑ…වහින වෙලාවට
තනියෙන් ඉන්නෙ නෑ…වෝල්ට් අඩු අගයක් ගන්න බල්බ් වලට පවා බයයි..කොටින්ම
කිව්වොත් මේ සිදුවීම නිසාවෙන් එයාට එයාගෙ රැකියාවෙන් පවා අයින් වෙන්න
සිද්ධවුණා… මේ සිදුවීම වෙද්දී එයා තරුණ කෙනෙක්..ඒත් දැන් විවාහවෙලා දරුවො
ඉන්න තාත්තා කෙනෙක්…. එයාට ගැටලුවක් වෙයි කියලා හිතුණු නිසයි නම් ගම්
සියල්ල සඳහන් කරලා නැත්තේ….
ඒ වගේම මේ හොල්මන් සිදුවීම එතනින්
කෙළවර වුණේ නෑ….ගොඩ දෙනෙක් ඒ හොල්මන දැකලා තියෙනවා..අර මම කිව්ව
විදියටම….පිළිකුල් විදිටට..බැරිම තැන බෝධීයක් හදලා එතන බුදු ගෙයක්
හැදුවා….දැන් නම් හොල්මන් නැහැ කියලයි හැමෝම කියන්නේ….හම්මෝ….මම නම්
ඒත් එතනින් දවල්ට යන්නෙත් පණ බයෙන්……

මම #සුමේධ_හෙට්ටිආරච්චි

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න…

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here