වසීම් තාජුදීන් ඝාතන නඩුව: පළමු සැකකරු නිදහස් කෙරේ

0
54


රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 27) කැඳවූ අවස්ථාවේදීය.

එහිදී නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක ඉල්ලා සිටියේය.

අනෙක් සැකකරුවන්:

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබෙන අතර ඔහුට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වීය.

තුන්වන සැකකරු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව ද මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු හෙළි කළේය.

වාහන පිළිබඳ තොරතුරු:

මේ අතර වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කීපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් රහස් පොලීසිය බ්‍රහස්පතින්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මියගිය වසීම් තාජුදීන්ගේ වාහනය අඳුනා ගැනීම සඳහා වූ ඩීවීඩී පටය පිළිබඳව සිදු කළ පරීක්ෂණවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, පරීක්ෂණවලට භාජනය වී තිබෙන දුරකථන සංවාද පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින බව ද කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය ගැන ඔක්තෝබර් 31 වෙනිදා වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළාය.

පසුවිපරම:

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරු පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී 2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ සිරුර හමුවිය.

නමුත් ආරම්භයේදී පොලිසිය ප්‍රකාශ කළේ එය රිය අනතුරකින් සිදු වූ මරණයක් බවය.

නමුත් එම නිගමනය තමන්ට පිළිගත නොහැකි බව පැවසූ මිය ගිය අයගේ ඥාතීහු ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ.

එසේම විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් ඔවුහු චෝදනා කළහ.

මෙම පසුබිම යටතේ 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව යළිත් පරීක්ෂණය ආරම්භ විය.

තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය 2015 ජුලි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Image caption

තාජුදීන්ගේ සිරුර ගොඩ ගන්නා අවස්ථාව

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයක් මත ගොඩ ගනු ලැබූ සිරුර වසීම් තාජුදීන්ගේ බවට ඔහුගේ සහෝදරියක සහ සහෝදරයෙකු විසින් 2015 අගෝස්තු මස හඳුනා ගනු ලැබූණි.

දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලි සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය පසුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ භාරයට පත් කෙරිණ.

තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවත් රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ මීට පෙර කියා සිටියේය.

මෙම ඝාතනය ගැන 2016 ජනවාරි මාසයේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, “තාජුදීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. ඒකෙ සඳහන් වෙන ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා,” යනුවෙනි.

නමුත් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට එල්ල වෙන චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.

කියවන්න:

  • තාජුදීන්: පොලිස් හිටපු අධ්‍යක්‍ෂවරයෙක් ගැන පරීක්‍ෂණ
  • ‘අනුර සේනානායක රියදුරුගේ සාක්ෂියට බලපෑම් කරලා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here