වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන අවසන් සටනට

0
54


එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමේ වසර 27කට පසුව අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට සත්කාරක එංගලන්තය ඊයේ සමත් විය.

බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ ශූරයන් වූ ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කරමින් එංගලන්තය මේ අවස්ථාව උදාකර ගත්තේය. කඩුලු 2ක් පමණක් අහිමිකරගත් ඔවුන්ට පන්දු 107ක්ද ඉතිරිව තිබිණි.

මින් පෙර එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණේ 1992 වසරේදීය. ඔවුන් ලෝක කුසලාන අවසන් තරගයට එක්වූ සිවුවැනි අවස්ථාව මෙයයි.

පළමුව පන්දුවට පහරදෙමින් ඔස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 224ක ඉලක්කය හඹායෑමට එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටොව් පළමු කඩුල්ලට ලකුණු 124කට සබඳතාවක් පිහිටවූහ.

පන්දු 104කදී ලකුණු 124කින් ගොඩනැගුණු එම සබඳතාව නිමාවූයේ මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන මිචෙල් ස්ටාක්ට (27) තවත් කඩුල්ලක් හිමිකර දෙමින් බෙයාර්ස්ටොව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. විනිසුරු ලබාදුන් තීරණයට අභියෝග කළ බෙයාර්ස්ටොව් තෙවැනි විනිසුරුගේ සහය පැතුවම එම තීරණය වෙනසක් නොවීය. පන්දු 43කට මුහුණදුන් බෙයාර්ස්ටොව් හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් රැස්කර තිබිණි.

ඉනිමට තවත් ලකුණු 23ක් එක්වෙද්දී පැට් කමින්ස් යැවූ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී උඩ පන්දුවක් රැක ගැනීමෙන් රෝයිගේ ඉනිම නිමාවිය.

එම තීරණයට සිය විරෝධය පළ කළ රෝයි ටික වේලාවක් පිටියේ රැදී සිටියේය. විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව අහිමිව තිබීම හේතුවෙන් ඔහුට එම තීරණයට අභියෝග කිරීමට නොහැකි විය.

හතරේ පහර 9කින් සහ හයේ පහර 5කින් ඉනිම අලංකාර කරගත් රෝයි ලකුණු 85ක් රැස්කළේ පන්දු 65ක් පමණක් වැය කරමිනි. ඔහු ඊයේ වාර්තා කළේ 18 වැනි එක්දින අර්ධ ශතකයයි.

රෝයිගේ දැවී යෑමෙන් පසු පිටියේ එක්වූ ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් පන්දු 75කින් ලකුණු 79ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවමින් කණ්ඩායම ජය තහවුරු කළහ. පන්දු 46කට මුහුණදුන් රූට් හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 49ක් රැස්කළ අතර හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 45ක් රැස් කිරීමට මෝගන් වැය කළේ පන්දු 39කි.

එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ට ආරම්භයත් සමගින් ලකුණු 14කට කඩුලු 3ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි හිටපු නායක ස්ටීව් ස්මිත් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් රැස්කළ ලකුණු 85 හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාවට ලකුණු 223ක් දක්වා ඉනිම ගෙන යෑමට හැකිවිය.

23 වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ ස්මිත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 217දී දැවී යනවිට හතරේ පහර 6ක් සමගින් පන්දු 119කට මුහුණදී තිබිණි.

සිවුවැනි කඩුල්ලට ඇලෙක්ස් කෙරි සමග එක්වූ ස්මිත් පන්දු 127කින් ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගීය. ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජෙම්ස් වින්ස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් පන්දු 70කින් ලකුණු 46ක් ලබාසිටි කෙරී දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණේ මුළු ලකුණු 117දීය. කෙරි ඊයේ මුහුණදුන් පස්වැනි පන්දුවෙන් අනතුරකට ලක්විය. ජොෆ්රා ආචර් යැවූ ඉනිමේ 8 වැනි ඕවයේ අවසන් පන්දුව තණතිල්ලේ වැදී ඉහළ නැගී කෙරිගේ මුහුණු ආවරණයේ වැදීමෙන් එය ගැලවී ඉවතට වැටිණි. ඒ සමගින් ඔහුගේ මුහුණටද තුවාල සිදුවිය.

කෙරි සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉන් පෙර නායක ඒරන් ෆින්ච් දැවී ගියේ මුහුණදුන් පළමු පන්දුවෙනි. ඔහු ජොෆ්රා ආචර් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර පන්දු 11කින් ලකුණු 9ක් රැස්කළ වෝනර් ජොනී බෙයාර්ස්ටොව් උඩ පන්දුවක් රැක ගැනීමෙන් මුළු ලකුණු 10දී දැවී ගියේය. වොනර් දවාගත් ක්‍රිස් වෝක්ස් විසින්ම තවත් ලකුණු 4කදී පීටර් හැන්ඩ්කොම්බ්ගේ ඉනිම ලකුණු 4කට සීමා කළේය.

මුළු ලකුණු 117දී කෙරී දැවී ගිය අතර තවත් ලකුණක් එක්වෙද්දී මාක්ස් ස්ටොයිනිස් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේ ආදිල් රෂීඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ස්මිත් සමග ලකුණු 39ක් එක් කිරීමෙන් අනතුරුව පන්දු 23කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 22ක් ලබාසිටි ග්ලේන් මැක්ස්වෙල් 6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ආචර් සමත්වූ අතර රෂීඩ්ගේ පන්දුවක් හමුවේ පැට් කමින්ස්ගේ ඉනිම ලකුණු 6කින් නිමා වූයේ මුළු ලකුණු 166දීය. අනතුරුව පිටියට පිවිසි මිචෙල් ස්ටාක්, ස්මිත්ට මනා සහයක් ලබාදෙමින් ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගීය. මුළු ලකුණු සංඛ්‍යාව 217 දී ස්මිත් දුවද්දී දැවී යෑමට හසුවීමෙන් 48 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් 7 වැනි කඩුල්ලේ සබඳතාව නිමාවූ අතර ඊළඟ පන්දුවෙන් ක්‍රිස් වෝක්ස්ගේ තෙවැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක්ද දැවී ගියේය. පන්දු 36කට මුහුණදුන් ස්ටාක් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29ක් රැස් කළේය. මාක් වුඩ් යැවූ 49 වැනි ඕවරයේ අවසන් පන්දුවට ජේසන් බෙරන්ඩ්‍රොෆ් දැවී යෑමත් සමග ඉනිම ලකුණු 223කින් නතර විය. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here