“වඳ සැත්කම්”: සතියක් ඇතුළත මූලික වාර්තාවක්

0
84


Image copyright
TWITTER

Image caption

වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි කාන්තාවන්ට “වඳ සැත්කම්” සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියද උණුසුම් වී තිබේ.

මුලින් දේශපාලකයින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළ අතර පසුව වෛද්‍යවරු ද ඊට මැදිහත්ව ඒ සම්බන්ධයෙන් පවතින වෛද්‍ය විද්‍යාත්මක සහ ප්‍රයෝගික පසුබිම පිළිබඳ පරස්පර මත ඉදිරිපත් කරන පසුබිමක් නිර්මාණය විය.

චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔහුට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව ඔහු සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පරීක්ෂණය විවේචනය කරන පසුබිමක මේ සම්බන්ධයෙන් මත පළකිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ට දන්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ද අදාළ චෝදනාව සම්බන්ධයෙන් මත ගැටුමකට මැදිහත් වූහ.

  • “වඳ පෙති” ව්‍යාජ සටන් පාඨයක්ද?

Image copyright
FACEBOOK

Image caption

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

“කුරුණෑගල ඉස්පිරිතාලේ ගිහින් මොකක්ද හොයාගත්තේ. පළවෙනි ප්‍රවෘත්තිය යනවා 4000 ක් ගබ්සා කළා කියලා. ඊටපස්සේ කියනවා 8000 ක් සීසර් කළා කියලා. දැන් මොකද වුණේ. මෙච්චරකල් ගිය කේස් දැන් ඇවිත් ඉන්නවනේ. අම්මා ඇවිත් ඉන්නවා, ආච්චි ඇවිත් ඉන්නවා, නැන්දා ඉන්නවා. මම ඩීඅයිජීට බලපෑම් කරලා නෑ , ඉස්පිරිතාලේ අධ්‍යක්ෂකට බලපෑම් කරන්නෙත් නෑ. ඒ ඔක්කොම වෙලාවට වෙයි. ජාතිවාදීන් බැහැල මේ ගේම් එක ගහන එක තමයි අපිට කණගාටු,” බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි එසේ තර්ක කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

Image caption

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක

“මම විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් ගෙන් ඇහුව. ඒ දෙන්නම මට සහතික කරලා කිව්වා, මේක බොහොම ලේසියි. සිසේරියන් සැත්කම අතරතුර ඒ පැලෝපීය නාලය කිහිප පොලක් අවහිර කරලා, නැවත දරු සම්පත ඇතිවීම වැළක්වීමේ ඉඩකඩ තියනවා කියලා. ඒ නිසා මම කියන්න කැමතියි ආණ්ඩුකාර අසාද් සාලිට හරියට හොයන්නේ බලන්නේ නැතිව පණ්ඩිත කතා කියන්න එන්න එපා කියලා. කවුද අසාද් සාලි? අසාද් සාලිට ගොන් ප්‍රකාශ නිකුත් කරන්න එපා කියලා කියනවා. දැන් පේරාදෙණියේත් මෙහෙම තත්වයක් මතුවෙලා තිබෙනවා.”

චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි.

මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

“මේක වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ගැටළුවක්. අපිට අදාළ දෙයක්. සැකකාර වෛද්‍ය සාෆි මේක කළත් නැතත් වෛද්‍යවරුන්ට අමතරව වටේ පිටේ ඉන්න හැමෝම දැන් ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන්. මේක බරපතල තත්වයක්,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සිල්වා බීබීසී සිංහල සේවය සමඟ ප්‍රකාශ කළේය.

“දැන් සමහර දේශපාලකයෝ කියනවා මේක පේරාදෙණියේ ඇතුළු තවත් රෝහල්වල සිදුවෙලා තිබෙනවා කියලා. කොහොමද විධිමත් පරීක්ෂණයකට යටත් කරන්නේ නැතිව එහෙම දෙයක් සිදුවුණා හෝ සිදු නොවුණා කියන්නේ. ඇමති රාජිත කියනවා එහෙම වෙලා නෑ කියල. එහෙම උනාද නැත්ද කියල මේ හැමෝම කියන පදනම මොකක්ද කියල අපි අහනවා.”

  • මුස්ලිම් හලීමාට රැකවරණ දුන් සිංහල සුජීවනී

පොලිසියෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ

වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක අදාළ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යු ඩී පී රත්නසිරි ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එල් ඒ බස්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස් අයි ගුණවර්ධන කමිටුවේ සෙසු සාමාජිකයින් ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ සහ නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළත ද, ලබාගත් ප්‍රකාශ හා ලිපිලේඛණ සමග සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළත ද ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහත කී විමර්ශන කමිටුවට අඟහරුවාදා (මැයි 28) දැනුම් දී තිබේ.

Image copyright
Getty Images

Image caption

අමාත්‍ය රාජිත සේනාරත්න

සඳුදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අදාළ විෂය පිළිබඳ විශේෂ දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය ඉහත කී චෝදනාවල ඇත්ත නැත්ත සොයාගනු ඇති බවය.

“මේ කියන කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඕනේ. සිසේරියන් සැත්කමක් කරන කොට ශල්‍ය වෛද්‍යවරයක් හරි සහකාර වෛද්‍යවරයක් ඉන්නවා. ඊට අමතරව නිර්වින්දක වෛද්‍යවරයා ඉන්නවා, හෙදියෝ කිහිප දෙනෙක් ඉන්නවා, උපස්ථායකයෝ ඉන්නවා. ඒ නිසා මේවා ශල්‍යාගාරයක තනියෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. අපි ඉඩදෙමු මේ විද්වතුන්ට මේකේ ඇත්ත නැත්ත හොයන්න,” සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යාංශය පවත්වන පරීක්ෂණයට අමතරව පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය ද මේ ගැන වෙනම පරීක්ෂණයක් පවත්වමින් සිටියි.

අදාළ වෛද්‍යවරයා විසින් කරන ලදැයි පැවසෙන “වඳ සැත්කම්” පිළිබඳ පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ඉරිදා (මැයි 26) ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය

“චෝදනාවට ලක්ව සිටින සාෆි අපේ සාමාජිකයෙක්. මේක වෛද්‍ය වෘත්තියට අදාලව පරීක්ෂණ පැවැත්වෙන්න ඕන දෙයක්. ඇමතිට ඕන විදිහට පරීක්ෂණ පවත්වන්න බැහැ. අඩුම තරමෙ අපිට ආරාධනයක් නෑ මේ කමිටුවට. ඒ නිසා අපි තීරණය කළා මේ සිදුවීමේ සත්‍ය අසත්‍ය භාවය සොයන්න අපේ සංගමයට අදාළව කමිටුවක් පත් කරන්න. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මේ කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුලත අපි ලබාගන්නවා. එය විනය කමිටුවට ඉදිරිපත් කරලා අපි තීරණයක් ගන්නවා,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිවේදනය

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ. එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් රටේ උද්ගතව ඇති තත්වය තවත් ව්‍යාකුල විය හැකි බව ද නිවේදනයේ දැක්වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකර ඇති බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනට සිදුකෙරෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කරනු ඇති බවට ද විශ්වාසය පළකර සිටී.

Image copyright
SLMA

Image caption

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිවේදනය

කවුද මේ සියාබ්දීන් මොහොමඩ් සාෆි?

Image copyright
FACEBOOK

වෛද්‍ය මොහොමඩ් ෂාෆි එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය 2015 මහ මැතිවරණයට තරඟ කළේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ නියෝජිතයෙකු ලෙසය.

නමුත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවීය.

  • “වඳ පෙති” ව්‍යාජ සටන් පාඨයක්ද?
  • සමගි ජාතීන් දෙක අතර හදිසි ගැටුමේ ඉතිහාසය

වයඹ පළාතේ රෝහල් කිහිපයක වෛද්‍යවරයකු ලෙස කටයුතු කර තිබෙන ඔහු මැතිවරණයෙන් පසු කුරුණෑගල රෝහලට යළි සේවය සඳහා පැමිණ තිබේ.

වෛද්‍ය සියාබ්දීන් මොහොමඩ් සාෆි පවතින චෝදනා

Image caption

‘දිවයින’ වාර්තාව

සියාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවූයේ දිවයින පුවත්පත පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 23) “තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ” යනුවෙන් පළකර තිබු ප්‍රධාන පුවතත් සමගය.

හාරදහසක් මව්වරුන් වඳ කර ඇතැයි තහවුරුවී ඇති බව හැඟෙන පරිදි පළවූ එම වාර්තාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එදින පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අතර කතානායක කරු ජයසූරිය කියා සිටියේ එවන් පරීක්ෂණයක් ගැන දැනුවත් නැතැයි පොලිස් ප්‍රධානීන් තමන්ට දැනුම් දුන් බවය.

ඒ සමගම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ එවන් කිසිදු පරීක්ෂණයක් පොලිසිය සිදුනොකරන බවය. අදාළ පුවත්පත් වාර්තාව සමබන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයකු සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණ පවත්වන බවය.

ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි නමැති සැකකාර වෛද්‍යවරයා පසුගිය 25 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවය.

Image copyright
Getty Images

සිසේරියන් සැත්කමින් පසු දරුවන් නොලැබීම ගැන පැමිණිලි

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට අනුව වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි සිය වෛද්‍ය දිවිය තුළ සිසේරියන් සැත්කම් 8,000ක් පමණ සිදුකර තිබේ.

මේ පිළිබඳව ආන්දෝලනයක් ඇතිවීමත් සමග වෛද්‍ය සාෆි තමන්ට සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු නැවත දරුවන් නොලැබුණු බවට මව්වරුන් රෝහලට පැමිණ තොරතුරු ලබාදුන් බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව බදාදා (මැයි 29) වනවිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ.

Image caption

අද දිනයේ පැමිණිලි සටහන් කිරීම

විරෝධතා

මේ අතර බදාදා ත් කුරුණෑගල රෝහල අසලදී සැකකාර වෛද්‍යවරයාට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.

Image copyright
Google

Image caption

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාව

දේශපාලකයින්, ආගමික නියෝජිතයින්, මෙන්ම විවිධ වෘත්තිකයින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරස්පර මත පළකරන බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට බීබීසී සිංහල සේවය ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ මතය විමසීය.

පවතින නීති රාමුව සහ පරීක්ෂණ ක්‍රියාත්මක වන පසුබිමක උක්ත සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම බොහෝ විශේෂඥ වෛද්‍යවරු ප්‍රතික්ෂේප කළ නමුත්, ශ්‍රී ලංකාව තුල සිසේරියන් සැත්කම් සඳහා පවතින ප්‍රවණතාව මෙන්ම එවැනි සැත්කමක් අතරතුර ඉන්ද්‍රියන් හානි කිරීමකට ලක්විය හැකිද නොහැකිද යන්න පිළිබඳව ඔවුහු කරුණු පැහැදිළි කළහ.

සිසේරියන් සැත්කමක් යනු කුමක්ද

Image copyright
Getty Images

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඒ ඒ මව්වරුන්ගේ සෞඛ්‍යමය ස්වභාවය මත මෙන්ම වර්තමානයේ දී මව්වරුන්ගේ ඉල්ලීම් මත තමන් සිසේරියන් සැත්කම් සඳහා යොමුවෙන බවය.

“බොහෝ වෙලාවට ගර්භණී මවකට අධික රුධිර පීඩනය, දියවැඩියාව ඒ වගේම හෘදය වස්තුව ආශ්‍රිත රෝග පවතී නම් අපි සිසේරියන් සැත්කම් සඳහා යෝජනා කරනවා. එසේත් නැතිනම් දරුවා ටිකක් ලොකු නම්, හරහට සිටී නම් වගේ හදිසි අවස්ථා වලදී අපි මේ සැත්කම කරනවා. අලුත්ම ප්‍රවණතාව තමයි මවගෙන් ලැබෙන ඉල්ලීම මත අපි මේ සැත්කම සිදු කරනවා. මේ සැත්කමේදී විය හැකි හානි තිබෙනවා. බඩවැල කැපෙන්න පුළුවන්, අධික රුධිර වහනය, ආසාදන තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ ගැන අපි මව්වරු දැනුවත් කරනවා,” යනුවෙන් ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර විස්තර කළේය.

වෛද්‍යවරයා තවදුරටත් තහවුරු කළේ මෙම සැත්කම සඳහා පෙරට වඩා වැඩි ඉල්ලුමක් රට තුළ පවතින බවය.

සීසේරියන් සැත්කමක දී හිතාමතා මවට හානියක් කළ හැකිද ?

“සිසේරියන් නෙවි යම් හානියක් කරනවා නම් ඉන්ද්‍රියන්ට ඔව් හානි කළ හැකියි. සහායකගේ සහයෝගයත් ලැබෙනවානම් තවත් ලේසියි. නමුත් එලෙස හානි කළාද නැත්ද කියා නිවැරදිව සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ගැබ් ගෙලෙන් “ඩයි” එකක් ගර්භාෂය තුළට විදලා බලන්න පුළුවන් ඒ “ඩයි” එක පැලෝපීය නාලය තුළින් යනවද කියලා. එය විකිරණ පරීක්ෂාවකට ලක් කළ යුතුයි. එතකොට අවහිරවීමක් තිබෙනවානම් එය පෙන්නුම් කරනවා . නමුත් ආසාදන තත්ත්වයන හමුවේ මෙන්ම තවත් හේතු මත මෙහෙම පැලෝපීය නාල අවහිර වෙනවා. ඉතින් මෙවැනි පරීක්ෂණයකින් කියන්න බෑ අනිවාර්යයෙන්ම ඕනෑකමින් යම් හානියක් සිද්ධ කළාද නැත් ද කියලා. නමුත් අවශ්‍යතාවක් තියනවනම් කාට හෝ යම් හානි කිරීමක් කරන්න උත්තරය ඔව් පුළුවන්,” විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර වැඩිදුරටත් පැවසීය.

සාමාන්‍යයෙන් මවකට සිසේරියන් සැත්කම් තුනක් පමණක් සිදුකිරීමේ හැකියාව පවතින අතර ඉන් පසුව මවගේ අදහස විමසා වෛද්‍යවරු වන්ධ්‍යාකරණ සැත්කම් සඳහා යොමුවන ලෙසට මව්වරුන්ට උපදෙස් දෙනු ලැබේ.

එහිදී ද පැලෝපීය නාලය ගැට ගැසීමකට ලක් කරන බවද විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර සඳහන් කළේය.

තවත් ලිපි:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here