ලෝක නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල කලින්ම එංගලන්තයට යන්න අවසර ඉල්ලයි

0
34


ප්‍රින්ස් ගුණසේකර

එළැබෙන ජූලි මස 12වැනිදා ආරම්භවන ලෝක නෙට්බෝල් තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් පිල මේ මස 26වැනිදා එංගලන්තය බලා පිටත්වීමට අවසර ඉල්ලයි. එංගලන්තයේ දේශගුණයට හුරුවීම උදෙසා පුහුණු තරග කිහිපයක් පැවැත්වීම එමගින් අරමුණු කොට ඇතැයි කළමනාකාරිණී ට්‍රික්සි නානායක්කාර මහත්මිය ලිපියක් මගින් නෙට්බෝල් අතුරු කමිටුවට දැනුම්දී ඇත. එම ලිපිය අතුරු කමිටුව විසින් ක්‍රීඩා අමාතයාංශයට යොමු කොට ඇති අතර ඊයේ වනවිටත් එම ඉල්ලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

ජපානයේ පැවැත්වෙන ආසියා කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලයට සහභාගීවන ශ්‍රී ලංකා පිල මේ මස 26 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්වන අතර 29 වැනිදා තරගාවලිය ආරම්භ වේ. මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව ආසියා කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව දිනා ඇති බැවින්, මෙවර සහභාගීවන ශ්‍රී ලංකා කනිෂ්ඨ පිලට විදෙස් පුහුණු තරගාවලියක් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීමට නෙට්බෝල් සම්මේලනය කටයුතු යොදා නොතිබීම පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කරති.

ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල පිල පසුගියදා බොට්ස්වානා ජාතික නෙට්බෝල් පිල සමග තරග කිහිපයකට එක්වූ අතර එය ද පුහුණු තරගාවලියක් බව ප්‍රකාශ විය. බොට්ස්වානා ජාතික පිල සමග හා යොවුන් පිල සමග පුහුණු තරග කිහිපයකට සහභාගීවූවද එම තරගවල ජය පරාජ මාධ්‍යට අනාවරණය නොවුණි.

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකු සහ නිලධාරිනියන් තිදෙනෙකු සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීනියට අමතරව සහාය කළමණාකාරිනිය ලෙස පුෂ්පා එලුවාවල මහත්මිය සහභාගී කරවීමට ද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ අවසරය ඉල්ලා ඇත. මෙතෙක් පැවැති ජාත්‍යන්තර තරගාවලි කිසිවකට සහය කළමණාකාරිනියක් එක්කොට නොමැති වුවද, එලුවාවල මහත්මියගේ සහභාගීත්වයෙන් විශාල ප්‍රයෝජනයක් කණ්ඩායමට අත්වන බව කළමනාකාරීත්වයේ අදහසවී තිබේ. යම් හෙයකින් ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් යෝජිත සහාය කළමණාකාරිනියට අනුමත නොවුණහොත් පෞද්ගලික මුදලින් හෝ සංචාරයට එක්වීම උදෙසා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට සූදානමින් ඇති බව වාර්තා වේ.

මේ අතර ආසියාවේ උසම නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ඔස්ට්‍රේලියාවේ සිට බොට්ස්වානා බලා පැමිණෙන බව කලින් සඳහන්කර තිබුණද, එසේ නොවූයෙන් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කටයුතු ආරම්භ කිරීමට තීරණය කොට ඇත. ඇය ඔස්ට්‍රේලියාවේ වෘත්තීය මට්ටමේ ලීග් තරගාවලයකට සහභාගී වූවාය.

ශ්‍රී ලංකාව අවසන්වරට 2015දී පැවැති සිඩ්නි ලෝක නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවූ අතර එහිදී කණ්ඩායම් 16ක් අතුරින් අවසන් ස්ථානයට පත්විය. එහිදී ශ්‍රී ලංකාව මූලික වටයේදී සිංගප්පූරුවෙන් ලකුණු 56-43කින්, මලාවී වෙතින් ලකුණු 101-18කින් හා දකුණු අප්‍රිකාවෙන් ලකුණු 89-17ක දරුණු පරාජයක් ලැබීය. අනතුරුව පැවැති කණ්ඩායම් ශ්‍රේණිගත වටයේදී ෆීජී වෙතින් ලකුණු 77-31, ස්කොට්ලන්ඩ් වෙතින් ලකුණු 59-37 හා බාබඩෝස් වෙතින් ලකුණු 67-33ක පරාජයක් ලැබූ අතර සැමීබියාව හමුවේ ගෝල් 70-39ක පරාජයක් සටහන් විය. එම අවසන් ලෝක නෙට්බෝල් ශූරතාවලියේදී සියලුම තරග පරාජයට පත්වූ එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here