ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුනෙන් එකක් නිමයි

0
2


නවසීලන්තය අපරාජිතව ඉදිරියටම 
ශකීබ්-ෆර්ගියුසන් දස්කම් අතර ඉහළින්

ලෝක එක්දින ක්‍රිකට් පිටියේ සිවු වසරකට වරක් ශූරයන් සොයා යන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා එංගලන්තයේදී ආරම්භ විය. රටවල් 10ක සහභාගිත්වයෙන් 12 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේ මූලික වටයට තරග 45ක් ඇතුළත්ව ඇති අතර මේ වනවිට තරග 15ක් (තරගාවලියෙන් තුනෙන් එකකක්) නිමවී තිබේ.

නවසීලන්තය පෙරමුණේ

තරග 15ක් නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව සිටින්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. ඔවුන් තරග 3කට සහභාගිවී ප්‍රසාද ලකුණු 6ක් සමගින් පළමු ස්ථානයේ පසුවන්නේ දළ ලකුණු වේගය +2.163ක් ලෙස සටහන් කරමිනි.

සත්කාරක එංගලන්තය තරග 3කින් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් (ද.ල.වේ. +1.307) සමගින් දෙවැනි ස්ථානයේ පසුවන සහභාගිවූ තරග 2ක ජය ගනිමින් ලකුණු 4ක් සමගින් ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔස්ට්‍රේලියාව සිවුවැනි තැන පසුවන්නේ තරග 3කින් 2ක් ජයගෙන ලකුණු 4ක් සමගිනි. මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. කණ්ඩායම් 10 අතරේ දකුණු අප්‍රිකාව සහභාගිවූ තරග 4න් තුනක් පරාජයට පත්වෙමින් වැඩිම පරාජයන් සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව නිමාවිය.

8 වරක් 300 පනී

මෙතක් පැවැති තරගවලදී ලකුණු 300 සීමාව පසු කළ අවස්ථා 8ක් වාර්තා වෙයි. ඉන් ත්‍රිත්වයක් එංගලන්තය විසින් වාර්තා කර ඇති අතර දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව එක් වරක් බැගින් එම සීමාව පසුකර තිබේ.

වැඩිම ලකුණු සත්කාරකයන්ගෙන්

තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට සත්කාරක එංගලන්තය සමත්ව සිටී.

තරගාවලියේ 12 වැනි තරගය ලෙස කාඩිෆ් හිදී පැවැති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඔවුන් කඩුලු 6කට ලකුණු 386ක් වාර්තා කළේය. ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5කට ලකුණු 352ක් වාර්තා කරමින් ඉන්දියාව දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇති අතර පාකිස්තානය සත්කාරකයන්ට එරෙහිව කඩුලු 8ක ලකුණු 348ක් වාර්තා කරමින් තෙවැනි හොඳම ඉනිමට හිමිකම් කියයි.

තරග 3කට සහභාගිවූ ශ්‍රී ලංකාවේ ඉහළම ලකුණු සංඛ්‍යාව ඇෆ්ගනිස්තානයට එරෙහිව වාර්තා කළ ලකුණු 201යි.

අඩු ලකුණු පාකිස්තානයෙන්

තරගාවලියේ දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 105කට දැවී යෑම මෙතෙක් තරගාවලියේ අඩුම ලකුණු ලෙස වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ලකුණු 136කට දැවී ගොස් ඇති අතර ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා පිල හමුවේ ලකුණු 152කට දැවී ගොස් තිබේ.

වැඩිම අතිරේක ලකුණු 

මේ වනවිට කණ්ඩායමක් ලබාදුන් වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තරගයේදීය. එහිදී පළමුව පන්දු යැවූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් අතිරේක ලකුණු 35ක් ලබාදී තිබිණි.

ඔස්ට්‍රේලියාව සමග තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල අතිරේක ලකුණු 27ක් ලබාදී ඇති අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී දකුණු අප්‍රිකාවෙන් ලකුණු 21ක් වාර්තා වී තිබේ.

වැඩිම ලකුණු ශකීබ් අල් හසන්ට

තරග 3කදී ලකුණු 260ක් රැස්කර ඇති බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන් මේ වනවිට තරගාවලියේ පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවෙයි. 121ක ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ඔහු අර්ධ ශතක 2ක් ද රැස්කර තිබේ.

එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි තරග 3කදී ලකුණු 215ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමගිනි. එංගලන්තයේම ජොස් බට්ලර් (185) තෙවැනි ස්ථානයෙත්, ඉන්දියාවේ රෝහිත් ශර්මා (179) සිවුවැනි ස්ථානයෙත් පසුවන අතර එංගලන්තයේ ජෝ රූට්ද ලකුණු 179ක් රැස්කර ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු වාර්තා වන්නේ කුසල් ජනිත් පෙරේරාගෙනි. 16 වැනි ස්ථානයේ පසුවන ඔහු තරග 2කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 107ක් රැස්කර තිබේ.

වැඩිම කඩුලු ලොකී ෆර්ගියුසන්ට

නවසීලන්තයේ ලොකී ෆර්ගියුසන් කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ තරග 3කදී කඩුලු 8ක් දවා ගනිමිනි. ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇති අතර නවසීලන්තයේම මැට් හෙන්රි සහ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් කඩුලු 7 බැගින් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුලු 4ක් දවා ගනිමින් පසුවන්නේ 16 වැනි ස්ථානයේයි.

හොඳම ඉනිම

මෙතෙක් වාර්තාවු හොඳම ඉනිමට හිමිකම් කියන්නේ එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි ය. ඔහු බංග්ලාදේශය එරෙහිව ලකුණු 153ක් වාර්තා කළේ පන්දු 121කි. එම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

ඉන්දියාවේ රෝහිත් ශර්මා දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 122ක් රැස්කළ අතර බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ලකුණු 121ක් රැස් කළේ එංගලන්තයට එරෙහිවය.

හොඳම පන්දු යැවීම

ඇෆ්ගනිස්තානය සමග තරගයේදී නවසීලන්තයේ ජෙම්ස් නීෂම් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කර තිබේ. මිචෙල් ස්ටාක් ලකුණු 46කට කොදෙව් පිතිකරුවන් 5 දෙනකු දවාගෙන ඇති අතර නුවන් ප්‍රදීප් සමගින් ක්‍රීඩකයන් 6 දෙනකු ඉනිමක කඩුලු 4ක් බැගින් බිඳ දමා තිබේ.

මේ තරග 15 තුළදී පන්දු යවන්නන් විසින් කඩුලු 201ක් බිඳ දැමීමට සමත්ව තිබේ.

වැඩිම දවා ගැනීම්

මේ වනවිට කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් අතරින් පෙරමුණේ පසුවන්නේ කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් ය. ඔහු තරග 3කදී දවා ගැනීම් 9කට දායක වී තිබේ. එහි ඉනිම වැඩිම දවා ගැනීම් සංඛ්‍යාව 4කි. නවසීලන්තයේ ටොම් ලැතම් දවා ගැනීම් 8ක් සහ ඔස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කෙරී දවා ගැනීම් 6කට දායක වී ඇත. ඔවුන් දෙදෙනාම ඉනිමකදී දවා ගැනීම් 5ක් සිදුකර ඇත.

ලකුණු සබඳතා

දකුණු අප්‍රිකාවට එරෙහිව ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 143 ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙස සටහන් වෙයි. පළමු කඩුල්ල සඳහා ගොඩනැගුණු හොඳම සබඳතාව මෙන්ම ඕනෑම කඩුල්ලක් සඳහා වන දෙවැනි වැඩිම ලකුණු ලෙස සටහන් වනනේ ශ්‍රී ලංකා පිලට එරෙහිව නවසීලන්තයේ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ ගොඩනැගූ ලකුණු 137ක නොබිදුණු සබඳතාවයි.

ලකුණු වැඩිම තරගය

තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති 6 වැනි තරගයයි. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8කට ලකුණු 348ක් රැස්කළ අතර එංගලන්තය පිළිතුරු ලෙස කඩුලු 9කට ලකුණු 334ක් වාර්තා කළේය. තරගයේ වාර්තා වූ සමස්ත ලකුණු සංඛ්‍යාව 682කි. ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව 14 වැනි තරගයේදී ලකුණු 668ක් වාර්තා වූ අතර බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර 5 වැනි තරගයේදී වාර්තාවූ ලකුණු සංඛ්‍යාව 639කි.

හයේ පහර 98ක්

මේ තරග වලදී හයේ පහර 98ක් වාර්තා කිරීමට පිතිකරුවන් සමත්ව සිටිති. බංග්ලාදේශ සමග තරගයේදී ජේසන් රෝයි හයේ පහර 5ක් එල්ල කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබාගත් වැඩිම 6 පහර සංඛ්‍යාව වාර්තා කර ඇති අතර ජෝස් බට්ලර් තරග 3කදී හයේ පහර 6ක් සමගින් වැඩිම හයේ පහර සංඛ්‍යාවට හිමිකම් කියයි.

තරග 2ක ජය වැස්සට

මෙතෙක් පැවැති තරග 15 අතුරින් 2ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට තිබූ 11 වැනි තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමෙන් තොරව අත්හැර දැමුණි. පෙරේදා 15 වැනි තරගයද ඕවර 7.3කට සීමා විය. එම තරග දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here