ලාහෝර් ගඩාෆි පිටිය රෝස පාට වෙයි

0
41


සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර අවසන් තුන්වැනි විස්සයි 20 තරගය පැවැත්වෙන ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණය ඊයේ රෝස පැහැති වර්ණයෙන් දිස්වෙයි. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය රෝස රිබන් සහිත අත් පලදනා භාවිතා කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ක්‍රීඩාංගණය රෝස පැහැයට හැරි තිබිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි විස්සයි 20 තරගයට පෙර විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර එයට ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි සහ පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානි යන මහත්වරු එක්ව සිටියහ. ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් දෙකේ නායකයන්ට රෝස පැහැති රිබන් පැලඳවූ අතර ක්‍රීඩකයෝ හා විනිසුරුවෝද රෝස රිබන් පලදා ගත්හ‍.

තණතිල්ලේ සිටවා තිබූ කඩුලු රෝස පැහැයෙන් යුතුවූ අතර සියලුම අනුග්‍රාහකයන් ද ඔවුන්ගේ වෙළෙඳ නාම රෝස පැහැති වර්ණයට වෙනස් කර තිබිණි. මේ සංකේතාත්මක වර්ණය පැළද ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස ප්‍රේක්ෂකයන්ගෙන්ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කළේය. ඒ සඳහා රෝස රිබන් 12,000 ක් බෙදා ඇති අතර රෝස පැහැති ටීෂර්ට් 750 ක් ඇතුලුවීමේ දොරටුවල ප්‍රේක්ෂකයන්ට පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

පාකිස්තානයේ කාන්තාවන් නවදෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇති හෙයින් ක්‍රීඩාව හරහා මේ දැනුම්වත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here