රිමාන්ඩ් බාරයේ සිටින පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි

0
48


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ(02) අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබේ.
ඊයේ දින අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබිණි.

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ නමුත් ඔවුන් දෙදෙනාටම ඇතිවූ හදිසි රෝගී තත්වයන් හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහල් ගතව සිටියහ. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ද නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස්පතිවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්හ.

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සාපරාධී වගකීම් පැහැරහැරීමක් සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළිව තිබේ. ඒ අනුව අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා දැනුම්දී තිබූ අතර ඒ අනුව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් දෙදෙනාට දැනුම් දී තිබිණි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here