රිදී දිනූ අමරා ඉන්දුමතීට මාස 10කට පසු රන් පදක්කම් වාසනා

0
46


සිවුවැනියාව සිටි කුමුදුටත් උසස්වීමක්
පැරා ක්‍රීඩා පළමු තැන දිනාගත් ක්‍රීඩිකාව තහනම් උත්තේජක අරන්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත (T 45, 46 හා 47) කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් උස්බෙකිස්තානයේ අබ්දුල්ලාවා කමොලාකොන් තහනම් උත්තේජක ගත්බවට වැරදිකාරියවීම හේතුවෙන් එහි රිදී පදක්කම දිනාසිටි අමරා ඉන්දුමතීට රන් පදක්කම හිමිවෙයි. එමෙන්ම එම ඉසව්වේ සිවුවැනි ස්ථානයේ සිටි කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කම දිනාගත් බවට නම් කරයි. මෙහි ලෝකඩ පදක්කම දිනා සිටි ඉරානයේ සහරා බෝර්නකීට රිදී පදක්කම හිමිවේ.

පසුගිය වසරේ ඔක්තේබර් මාසයේ ආසියානු පැරා ක්‍රීඩා උළෙල ජාකර්තා ගෙලෝරා බන්ග් කරානෝ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අතර තහනම් උත්තේජක චෝදනාවෙන් රන් පදක්කම අහිමිවී ගිය උස්බෙකිස්තානයේ අබ්දුල්ලාවා කමොලාකොන් මීටර් 4.71ක දුරක් සටහන් කළාය. අමරා ඉන්දුමතී මීටර් 4.62ක් හා කුමුදු ප්‍රියංකා මීටර් 4.33ක දක්ෂතාවක් සටහන් කරද්දී, දැන් රිදී පදක්කමට හිමිකම් කියන ඉරානයේ සහරා බෝර්නකී මීටර් 4.51ක දුරක් වාර්තා කළාය.

දශම කිහිපයකින් ලෝකඩ පදක්කම අහිමිවී සිවුවැනි ස්ථානයට පත්වූ කුමුදු ප්‍රියංකා තරගය නිමාවට පත්වීමෙන් පසු සිය පුහුණුකරු සමග වඩාත් දුක්බරව සිටියද නව ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පදක්කමක් සටහන් කිරීමට සමත්වීම ඇයට ප්‍රීති ජනක ආරංචියක් වනු ඇත.

ජකර්තා ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වූ උස්බෙකිස්තාන රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයකු තහනම් උත්තේජක පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් ඔවුන්ගේ ශූරතා ඉවත් කිරීමට ආසියානු පැරාලිම්පික් කමිටුව පියවර ගෙන තිබිණි. මේ දෙදෙනාගේ මුත්‍රා සාම්පල පරීක්ෂාවේදී එහි මෙතස්ටෙරෝන් අඩංගු බවට තහවුරුවී ඇත.

විවිධ හේතුමත අත් – පා අහිමි එහෙත් ජීවිතයට ධෛර්යය එක්කළ උත්සහාවන්ත මිනිසුන්ගේ ආසියා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්වූ ආසියානු පැරා ක්‍රීඩා උළෙල තෙවැනි වරට සංවිධාන වූ අතර ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 5ක් සමග පදක්කම් 15ක් දිනා රටවල් 43කින් 14වැනි ස්ථානයට පත්විය.

රටවල් 43කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2831ක් සහභාගීවූ මේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මලල ක්‍රීඩා, රෝද පුටු ටෙනිස්, චෙස්, ටේබල් ටෙනිස්, පිහිනුම්, සවි එසැවීම, වෙඩි තැබීම හා දුනු විදීම යන ක්‍රීඩාවලට වලින් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here