යාපනය ගුවන් තොටුපොළ: “උඩ දෙමළ, යට සිංහල” සමාජ ජාල ඔස්සේ සංවාදයක්

0
256


ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 17) විවෘත කෙරිණ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපොළේ දී පැවති උත්සවයකදීය.

අදාළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමග ගුවන් තොටුපොළේ නාම පුවරුවක සටහන් කර තිබූ භාෂා සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අවධානයට ලක්විණි.

ඉහළින්ම දෙමළ භාෂාවෙන් ද, දෙවෙනුව සිංහල භාෂාවෙන් ද තෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන් ද ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ යන්න නාම පුවරුවේ සටහන්ව තිබිණ.

Image caption

“යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම හෙට – සිංහල භාෂාව දෙවන තැනට” යන ශීර්ෂයෙන් වෙබ් අඩවියක පළ වූ පුවතක්

එම පියවර විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් දැක්වූ ඇතැමුන් විසින් එය හඳුන්වනු ලැබ තිබුණේ එය “සිංහල භාෂාව යටපත් කිරීමක්” ලෙසය.

නාම පුවරුවේ පළමුවෙන්ම දෙමළ භාෂාව සටහන් කිරීමට එරෙහි වීම “ජාතිවාදය ඇවිස්සීමේ තැතක්” බව මේ අතර තවත් පිරිසක් පවසති.

යාපනයේ අනෙක් බොහෝ නාම පුවරුවල ද දෙමළ භාෂාව පළමුව සටහන් වන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර සිංහල සහ දෙමළ භාෂා දෙකම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන භාෂා බව ඒ බොහෝ දෙනා පෙන්වා දී තිබිණ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ:

“සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපලාන භාෂා විය යුත්තේය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතුය.”

එමෙන්ම හම්බන්තොට වරායේ නාම පුවරුවක මුලින්ම සටහන් වන්නේ චීන භාෂාවෙන් බව කිහිප දෙනෙකුම පෙන්වා දී තිබිණ.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර සිංහල රාජ්‍ය භාෂාව වන අතර, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි.

ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් ලෙස යොදා ගැනේ.

ඒ අනුව එම භාෂා දෙකෙන් ඕනෑම භාෂාවකින් සිය කටයුතු කිරීමට මහජන නියෝජිතයන්ට අවස්තාව සැලසේ. එමෙන්ම එම භාෂා දෙකෙන් ඕනෑම භාෂාවකින් අධ්‍යාපනය ලැබීමේ හිමිකම ද පවතී.

ප්‍රවාහන සේවා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ ඇතැම් විට පොදු ප්‍රවාහන සේවා පවා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම ගැන වරින්වර වාර්තා පළ වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් බස්රථවල ගමනාන්ත දැක්වෙන පුවරුවල දෙමළ භාෂාව වැරදි ආකාරයට ලියා තිබීම පිළිබඳ මීට වසර කිහිපයකට ඉහතදී අවධානය පළ විය.

‘මහනුවර’ බලා ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ගමනාන්තය දැක්වෙන ඉදිරි පුවරුවේ සිංහල සහ ඉංග්‍රීසි වචන නිවැරදිව ලියා ඇතත් එය දෙමළ භාෂාවෙන් ලියා තිබුණේ අසභ්‍ය වචනයකි.

ඒ අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා පිළිබඳ ඇමති මනෝ ගනේෂන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල සහ දෙමළ පිළිබඳ අදාළ නිලධාරීන්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම නිසා භාෂාවේ වචන විකෘති ආකාරයට ප්‍රසිද්ධ ස්ථානවල පවා ලියා ඇති බවය.

  • භාෂාවකට අවමන් කෙරෙන්නේ භාෂාව නොදත්කමින්-මනෝ ගනේෂන්

Image caption

දමිළ බස වැරදි ආකාරයට ප්‍රදර්ශනය කෙරෙන බස්රියක්

‘රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන දැන්වීම් පුවරු ගණනාවක් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය මීට ඉහතදී කටයුතු කළේය.

පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව දෙමළ භාෂාවෙන්ද දැක්විය යුතු බවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය වෙත යොමු කරන ලද ඉල්ලීම එවැනි එක් පැමිණිල්ලකි.

  • රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෝ?

එහි කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බවට අදාළ දැන්වීම් පුවරුවේ අනතුරු ඇඟවීම කර තිබුණේ සිංහල භාෂාවෙන් පමණි.

එයට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳ එම ව්‍යාපාරය රථවාහන පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් ඇති වීදි නාම පුවරු ඉවත් කරන ලෙස ආණ්ඩුව මීට ඉහතදී සියලු ම පළාත් පාලන ආයතනවලට සහ රජයේ ආයතනවලට චක්‍ර ලේඛනයක් නිකුත් කළේය.

  • “අරාබි භාෂාව ගලවන්න”: නියෝගයක්

ඒ නැගෙනහිර පළාතේ ඇතැම් වීදි නාම පුවරු මත අරාබි භාෂාවෙන් නම් සටහන් කර තිබීමත් ඉදිකිරීම් සිදු කෙරෙන ස්ථාන කිහිපයක චීන භාෂාවෙන් නාම පුවරු සටහන් කර තැබීම පිළිබඳවත් දැඩි විවේචන එල්ල වීමෙන් අනතුරුවය.

“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂාවලින් සහ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසිවලින් විතරයි නාම පුවරු දාන්න පුළුවන්. මේක ඇතැම් ස්ථානවල ක්‍රියාත්මකව තිබුණේ නැහැ. ඒ නිසා අපි සියලු පාර්ශව නැවත දැනුවත් කළා මේ ගැන,” අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඒ අවස්ථාවේ බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

මේ අතර ජාතික සමගිය තහවුරු කිරීම මගින් ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වන විශේෂ යෝජනා මාලාවක් පසුගිය ජුනි මාසයේ ප්‍රකාශයට පත් කළ ජනතා විමුක්ති පෙරමුණ, එහි විශේෂයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබුණි.

  • ‘ජාතිවාදය පැරදවීමේ’ ජවිපෙ යෝජනා මොනවා ද?

ඒ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ප්‍රධාන නිගමන තුනකි.

ඒ අනුව:

  • සංඥා පුවරුවල සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පමණක් සඳහන් කිරීම
  • රාජ්‍ය භාෂා පනත කාර්යක්ෂමව සිංහල, දෙමළ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක කිරීම.
  • ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ජන කොටසකට ම ශ්‍රී ලංකාව සමාන ලෙස අයිති බව දරු දැරියන්ට බාල වියේ සිටම ඒත්තු ගැන්වීම.

යන කරුණු අත්‍යවශ්‍ය සාධක බව එහි සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here