“මුහුද ගම ඇතුළට එනවා. දැන් මුහුද තියෙන්නේ පල්ලිය ඇතුළේ”

0
169


Image caption

“දැන් මුහුද තියෙන්නේ පල්ලිය ඇතුළේ”

“මාස හතරකට කළින් මුහුද තිබුණේ අපේ පල්ලියට මීටර් දෙසීයක් විතර ඈතින්. දැන් මුහුද තියෙන්නේ පල්ලිය ඇතුළේ. මෙහෙම ගියොත් අපට සිද්දවෙන්නෙත් මුහුදට පනින්න තමයි.”

නාවල්අඩි ගමේ පදිංචි හතළිස් හැවිරිදි ඩබලිව් ශ්‍රියාමාලි කථා කරන්නේ සියළු බලා පොරොත්තු සුං වූ ගානටය.

“යුද්ධය නිසා අපි අවුරුදු තිහක් මේ ගමෙන් පිට වෙලයි හිටියේ. අපි නැති අතරේ සුනාමියට මුළු ගමම හෝදාගෙන ගියා. නැවත පදිංචියට එනකොට තල් ගස් විතරයි ඉතිරිවෙලා තිබුණේ. අපි ජීවත්වෙන්නේ තල් අල විකුණලා. දැන් ඒ ගස් ටිකත් ඉවරයි. මුහුද ගම ඇතුළට එනවා.”

මහවැලි ගඟ මුහුදට වැටෙන ගෙංගේ සහ උක්පාරුව දෙමෝයට පහළින් පිහිටි නාවල්අඩිය, මූතූර් සිට ත්‍රීකුණාමලයට ගමන්කරන විට හමුවන කුඩා ගමිමානයකි. මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තාවලට අනුව යුද්ධයට පෙර එහි වෙරළාසන්න බිම් තීරුවේ පවුල් එකසිය හයක් පදිංචිව සිට ඇත. 2010 වසරේ පවුල් විසි තුනක් නැවත පදිංචියට පැමිණ ඇතත් ස්ථීර නිවාස ලැබී ඇත්තේ පවුල් හතකට පමණි. අනෙක් පවුල් දහසය නැවත ගම හැර ගොස් ඇත.

මුහුද විසින් ගම ආක්‍රමණය කරනු ලැබීමට හේතුව හැටියට ශ්‍රියාමාලි දකින්නේ ගෙංගේ සහ උක්පාරුව මෝය කටවල් දෙක කපා වැලි ඉවත්කිරීමය.

“මම සිංහල කතෝලික. මගේ මහත්තයා දෙමළ කතෝලික. මේ ගමේ ජීවත්වෙන හැම පවුලක්ම එහෙම තමයි. ළඟක ඉඳලා අපේ ගම වෙරළ ඛාදනයට ගොදුරු වෙනවා. ඈතින් තිබුණු මුහුද දැන් ගමේ මායිමටම ඇවිත්. තල් ගස්ටික ඇදගෙන වැටෙනවා. අපේ පල්ලිය කැඩීගෙන යනවා. ගෙංගේ සහ උක්පාරුව මෝය කටවල් දෙක කපා වැලි අයින්කරපු නිසා තමයි මෙහෙම සිද්දවෙන්නේ. ‍මෝය කටවල් කපන්න එපා කියලා අපි කීප දෙනා උද්ඝෝෂණය කළා. වගකිවයුතු නිළධාරීන් දැනුවත් කළා. කිසි කෙනෙක් තුට්ටුවකටවත් මායිම් කළේ නෑ. හෙට අනිද්දා වෙනකොට මුළු ගමම මුහුදට සේදිලා යාවි,” ඇය පැවසුවාය.

නාවල්අඩියේ පදිංචි තිස් දෙහැවිරිදි එරන්ද දේවප්‍රිය වෙරළ ආසන්නේ ඇති සංචාරක නිවස්නයක සේවකයෙකි.

“නාවල් අඩිය කියන්නේ යුද්ධයෙන් හොඳටම බැටකාපු ගමක්. පවුල් එකසිය හයක් එදා මේ ගමේ පදිංචිවෙලා හිටියා. ඒ සියළු දෙනාම නැවත පදිංචියට ආවත් ආණ්ඩුවෙන් කිසිම උදව්වක් ලැබුනේ නෑ . කොහොම හරි පවුල් විසි තුනක් ගමේ නතරවුනා. ඒ අය අතරින් පවුල් හතකට රාජ්‍ය නොවන සංවිධනයකින් ස්ථීර නිවාස ඉදිකර දුන්නා. අනෙක් අය තාවකාලික නිවාස වල පදිංචවෙලා සිටියා. අන්තිමේදී ඒ අයත් බලාපොරොත්තු සුංකරගෙන ආපසු ගියා. දැන් ඉතිරිවෙලා ඉන්නේ පවුල් හතයි.”

“ප්‍රධාන මාර්ගය ආසන්යේ පදිංචි පවුල් සියල්ලටම ස්ථීර නිවාස, බෝට්ටු දැල් පන්න, අවුට් මෝර් ඇතුළු සියළුම ධීවර ආම්පන්න, වතුර මෝටර් වගා ළිං, කිරි හරක් එළුවෝ කුකුල්ලු, ස්වං රැකියා ආධාර හැම දෙයක්ම ලැබුනා. අපට කිසිම දෙයක් නෑ. යුද්දෙට කළින් අපි වගාකළ කුඹුරු ඉඩම් වන රක්ෂණයට පවරා ගත්තා. අපේ අනෙක් අය, ජීවත් වෙන්නේ තල් අල විකුණලා. යාන්තම් ඇඳිරි වැටෙනකොට වල් අලි ගමට එනවා. මිනිසුන්ට මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? මොන දුක හරි විඳගෙන ජීවත්වුනත් මහ මුහුදත් එක්ක හැප්පෙන්න පුළුවන්ද? ගල්වැටියක් දැම්මොත් මේ හානිය වළකා ගන්න පුලුවන්,” ඔහු කීවේය.

රළ පනාවක්

ගෙංගේ රිසෝට් සංචාරක නිවස්නයේ හිමිකරු පණස් හැවිරිදි ආර් එම් අනුර බණ්ඩාර පෙන්වා දෙන පරිදි මෝය කටවල වැලි ඉවත් කිරීම පමණක්ම මේ හානියට එකම හේතුව නොවේ.

“මම මේ ගමේම කුඩා සංචාරක හෝටලයක් පවත්වගෙන යනවා. ගමට එන්න පාර හැදුවෙත් මමයි. මේක කිසිම පහසුකමක් නැති ගමක්. වෙරළ ඛාදනය ඉතාම දරුණුයි. මෝය කටවල වැලි ඉවත්කරන්න තරම් කිසිම හේතුවක් තිබුනේ නෑ. මහවැලි ගඟ පිටාර ගැලීමක් සිදුවුනෙත් නෑ. මෝය කටවල් දෙකේම පළල අඩි හයසීයක් පමණ වෙනාවා. පසුගිය මාස් වැස්සෙන් අමුතු බල පෑමක් වුනෙත් නෑ. ව්‍යාපරිකයන් පිරිසකගේ උවමනාව තමයි නිළධාරීන් ඉෂ්ඨ කළේ.”

කියවන්න:

“කිලෝමීටරයක් දිගටවත් ගල් වැටියක් (රළ පනාවක් ) දැම්මොත් ගම බේරාගන්න පුළුවන් වෙයි. මෝය කටවල් දෙක කපා වැළි ඉවත් කිරීමට අමතරව වරාය සහ කළපු ගොඩකිරීමත් මේ හානියට බරපතල හේතුවක්. අද වෙනකොට ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ ඇති සියළුම කුඩා කළපු ගොඩ කරලා ඉවරයි. දැන් ඒ ස්ථානවල විශාල ගොඩනැඟිලි ක්‍රීඩා පිට්ටනි, ව්‍යාපරික ස්ථාන පවත්වාගෙන යනවා සමහර. දේශපාලකයන් සහ රාජ්‍ය නිළධාරීන් මේ පරිසර විනාශයට සම්පූර්ණයෙන්ම සහය දෙනවා. මේ මුහුදු ඛාදනය නාවල්අඩියෙන් නවතින්නේ නෑ. ඉවත් කළ වැලි ප්‍රමාණය නැවත මෝය කටට ලබා ගැනීමටත්, කලපු ගොඩ කිරීමෙන් නිර්මාණය වී ඇති හිඩැස පිරවීමට මුහුදේ වඩදිය බාදිය තෙරපුම වෙනත් ඉසව් වෙත යොමුකිරීමටත් ස්වභාව ධර්මය කටයුතු කරනවා. ඒක තමයි මේ සිද්දවෙන්නේ. මගේ හෝටලය තමයි වෙරළ ඛාදනය නිසා බරපතලම අනතුරට ලක්වෙලා තියෙන්නේ,” ඔහු පැවසුවේය.

“සොයා බලනවා”

ත්‍රීකුණාමල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂ උපුල් වන්නිආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේ මෝය කටවල වැලි පිරී තිබීම නිසා බෝට්ටු ධාවනයට ගැටළුවක් ඇතිවී තිබෙන බවට ධීවරයන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාල ක්‍රියා මාර්ගය ගත් බවය.

“අපේ ඉංජිනේරුවන් සහ වගකිවයුතු අනෙකුත් ආයතනවල උපදෙස් මත තමයි වැලි ඉවත් කිරීම සිදුවුනේ. එදා හෝ අද මහජන පැමිණිල්ලක් මා වෙත වාර්තා වී නෑ. ඔබේ විමසීම නිසා මා මේ පිළිබඳව සොයා බලනවා,” වෙරළ සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

එහෙත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනත් නිළධාරියෙකු පැවසුවේ මේ සිද්ධිය වැලි ජාවාරමේ තවත් පැතිකඩක් බවය. සිය නම සඳහන් නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

“අපේ ලොකු මහත්වරු මේ හැම දෙයක්ම දන්නවා. දැන් කොළේ වහලා කථා කරනවා,” ඔහු පැවසීය.

“මෝය කටවල් දෙකේ වැලි ඉවත් කරන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. දැන් තවත් මෝයක් කපන්න සැළසුම් කරගෙන යනවා. ගඟක් මුහුදට වැටෙන මුවදොරේ යම් තරමක් වැලි තිබිය යුතුයි. මෙතන සිද්දවුනේ පතුලටම හාරලා වැලි ගත්තු එකයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here