Home උණුසුම් පුවත් මිහිදු හිමි වැඩසිටි පිළිමගෙය අනුරාධපුරයෙන් සොයාගනී

මිහිදු හිමි වැඩසිටි පිළිමගෙය අනුරාධපුරයෙන් සොයාගනී

0
26


(මනුල වික්‍රම)

මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ ස්ථිරව වැඩසිටි විහාරයේ පිළිමගෙය සොයාගැනීමට අනුරාධපුර මහවිහාර ව්‍යාපෘතියට හැකිවූ  බව එම  ව්‍යාපෘතියේ පුරාවිද්‍යා  අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පළමුවැනි  බෞද්ධ ආරාමය වශයෙන් සලකනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව250 දී මිහිදු මහරහතන්වහන්සේ උදෙසා දේවානම් පියතිස්ස රජතුමා විසින් මහ මෙවුනා  උයනේ ඉදිකළ මෙම තිස්සාරාමයහෙවත් මහා විහාරයයි.

 වස්සාන සමයේ මිහින්තලේ වැඩ සිටි මිහිදු මහ රහතන් වහන්සේ  නිත්‍ය වශයෙන් වැඩ සිටියේ මෙම ආරාමයේ බව ඉතිහාසඥයෝ සඳහන්කරති.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක මහා විහාර ව්‍යාපෘතිය මගින් මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේදී ය. මෙම පිළිම ගෙය පිහිටා ඇත්තේ ලෝවාමහාපායට ගිනිකෝණ දිගින් ඒ  ආසන්නයේ ය.

මෙහි දකුණු කොටස ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකර තිබූ ඩික්මන් පාර වැටී තිබූ ස්ථානය වූ අතර  වර්තමානයේ ශ්‍රී මහා බෝධි මළුවේ පිටතින් දිවෙන පෙරහැර මාර්ගයේ සිමෙන්ති ගල් අල්ලා ඇති කොටසකට යටවි ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී  සඳහන් කළ මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා  පැවසූයේ මෙම පිළිම ගෙය ගැන මුලින්ම සඳහනක් හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ දී රචිත පාලි මහා බෝධි වංශයේ බවයි.12 වන සියවසේ දී ඒ සඳහා රචිත මහා බෝධිවංශ ග්‍රන්ථිපද විවරණයේත් මේ පිළිබඳ සඳහන්වේ.

දේවානම් තියතිස්ස රජතුමා සිංහ වික්‍රාන්තියෙන් යුතුව මහා විහාරයේ ආකෘතිය ගොඩනැගූ බව කියන පුවතෙහිද මේ ගැන දැක්වේ.සිංහ වික්‍රාන්තිය යනු ගමන්කරන සිංහයා දකුණින් පිටුපස හැරී බලන හැඩයයි. ඒ හැඩය තුළ දකුණු පාදය තුබූ තැන ලෝවාමහාපාය ද,වම්පස පාදය තබූ තැන සන්නිපාත ශාලාව ද,නාභිය පිහිටි ස්ථානයේධාතු ඝරය ද, පපුවේ වම්පස රංසි මාලකය ද,ඉදිරි දකුණු පය තැබූ තැන රුවන්මැලි සෑය ද,උගුර පිහිටි   තැන කණ්ඨක නම් පොකුණ ද, හිස දකුණු දෙසට හරවා බැලූ කල්හි දෘෂ්ඨිය වැටුණු තැන පිළිම ගෙයද වශයෙන් සඳහන්වේ.මෙකී පිළිම ගෙය පිළිබඳව මීට පෙර කිසිම පර්යේෂකයෙකු කරුණු වාර්තාකර
නොතිබිණි.

එහෙත් පැරණි මූලාශ්‍ර අනුව යමින් මේ සොයාගැනීම කළ හැකිවු වත් මෙම ස්මාරක විනාශවන්නට ඇත්තේ මහාවංශයට අනුව  ක්‍රිස්තු වර්ෂ 1017 ඇතිවූ සොළී ආක්‍රමණවලින් පසුව බවත් මහාචාර්ය වරයා සඳහන් කරයි.

මේ පිළිමගෙයි විශාල  උළුවස්සක් තිබුණු බවට ලක්ෂණ සඳහන්වේ.ඒත් එවැන්නක් දැන් දක්නට නොමැති අතර වර්තමානයේ ඊට ආසන්ව ඇති ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩේ විශාල උළුවස්සක් දක්නට තිබේ.   1894 හෙන්රි කේව් විසින් ප්‍රකාශයට පත්කර ඇති ‘ද රුයින්ඩ් සිටි ඔෆ් අනුරාධපුර‘ ග්‍රන්ථයේ පලකර ඇති මෙම වාහල්කඩේ ඡායා රූපයේ  සියලු විස්තර ඇතත්  මෙම උළුවස්ස ගැන සඳහන් නොවන බැවින්  මහමාචාර්ය වරයා  අනුමාන කරනුයේ  ශ්‍රීමහා බෝධියේ  භාරකාරත්වය ඉසිලූ  බුලන්කුලම පවුලේ සාමාජිකයින් 1925දී මෙම දොරටුව පිළිසකර කළ  අවස්ථාවේ දී මෙම විශාල උළුවස්ස එම වාහල්කඩට සවිකළ බවයි.‘‘

ශ්‍රී මහා බෝධියේ වර්තමාන උතුරු වාහල්කඩේ එම උළුවස්ස ඇති අයුරු (ඉපැරැණි ඡායාරූපයකි) හෙන්රි කේව්ගේ පොතේ දැක්වෙන ඡායා රූප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here