—බෝධි පූජාව තියන විට මහ හඩින් හැඬ­ූ­ ප්‍රෙතිය—

0
64


“රෑට නිදාගන්න දෙන්නෙම නෑ. යන්තම් නින්දයාගෙන එනකොටම කවුදෝ කෙනෙක් කකුලෙන් අදිනවා. ඉතින් ගැස්සිලා ඇහැරෙනවා”යි සිරිසේන කීවේය.
“තමුන් කොහේද පදිංචි?”
“පිළියන්දල. අලුතෙන් සල්ලිවලට ගත්ත ගෙයක.”
“අලුතෙන්ම හදපු ගෙයක්ද?”
“නෑ, ඒ ගෙදර හිටපු අය ගේ අපට විකුණලා වෙනත් දිහාවකට පදිංචියට ගියා.”

“ඔහොම තමයි. අනුන් හදපු ගෙවල්වල පදිංචියට ආවම. ඒ ගෙවල් හදලා තියෙන්නේ ඒ අය
උපන් නැකැත්වලට. ඒ වගේම ඒ අය ගේ විකුණලා යන්න ගියත්, ඒ ගෙවල්වලට ආශාවෙන්
මැරිලා දුගතිගාමීව ඉපැදුණු අමනුස්සයෝ ඒවා අතහැරලා යන්නේ නෑ. ඔය ගෙදර කොයි
වගේ එකක්ද?”
ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සිරිසේනගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය.
“ගේ අලුත් එකක්. හදලා අවුරුදු හතරකට පහකට වැඩිය නැහැ. කාමර හතරයි, සාලයයි,
කෑම කාමරයයි, කුස්සියයි තියෙන්නේ. දැනට අපිත් අරගෙන අවුරුදු පහක් වෙනවා.”

“වෙන කවුද ගෙදර ඉන්නේ?”
“අපි පස් දෙනා විතරයි”
සිරිසේන පැවැසුවේ එහි පැමිණ සිටි බිරියත්, දරු තිදෙනාත් පෙන්වමිනි.
“කාමර හතරම නිදන කාමරද?”

“නෑ. තුනක් නිදන කාමර. එකක් ගබඩා කාමරයක්. ඒ ගබඩා කාමරෙන් නිතරම වගේ
දුර්ගන්ධයක් දැනෙනවා. කලින් හිටපු අය අතහැරලා දාලා ගිය අල්මාරියකුත් ඒ
කාමරේ තියෙනවා. ඒක ඇතුළෙ ගෑනු ළමයකුගෙ ඇඳුම් වගයකුත් තියෙනවා. ඒ කාමරේ ඉඳලා
සුදු සාරියක් ඇඳගත්තු තරුණ ගෑනු ළමයෙක් රෑට එහා මෙහා යනවා පෙනෙනවා.”
“කොච්චර කාලයක ඉඳලද ඕවා දැක්කේ?”
“අපි මේ ගෙදර පදිංචියට ආපු මුල් දවස්වල ඉඳලම ඒ දුර්ගන්ධය දැනුණා. සතියක් දෙකක් ගත වෙනකොට ඒ ඡායාව පෙනෙන්නත් ගත්තා.”
“ඉතින් අවුරුදු පහක් තිස්සේම ඔය අමනුස්සයත් එක්කමද ජීවත් වුණේ?”

“ඔව් මහත්තයා වෙන මොනවා කරන්නද? සල්ලි දීලා ගත්ත ගේ දාලා කොහේ යන්නද? කරදර
වැඩිවෙනකොට ඇදුරන් ගෙන්නලා තොවිල් පවිල් කළා. එහෙම කළාම මාසයක් හමාරක්
කරදර නැතිව ඉන්නවා. ආයෙත් කරදර පටන් ගන්නවා. මේ කාලය තුළ තොවිල් හතක් අටක්
කළා. පිරිත් කිව්වා. වැඩක් වුණේ නෑ. ඒකයි ඔබතුමා ගැන පත්තරෙන් දැකලා,
හොයාගෙන ආවේ” යි සිරිසේන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආ
ආකාරය පැවැසීය.
ගවේෂකවරයා සිරිසේන වෙතට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු
පසුපසට විසිවී ගොස් වැටුණේය. බිම වැටී දඟලන්නට වූයේය. ඔහුගේ ශරීරයට ඇතුළු
වී සිටි ප්‍රේත ජීවියා ඉවත් කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි
පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
සති තුනකට පසුව සිරිසේන පවුලේ අය සමඟ නැවැත ආවේය. එදින ඔහු දිෂ්ටි වී අඬන්නට පටන් ගත්තේය. ගවේශකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ අඬන්නේ?”
“මේ මගේ ගෙදර මට යන්න බෑ. මගේ ගෙදර දාලා මම කොහේ යන්නද?”
“හරි හරි අපි තවම යන්න කීවේ නැහැනේ. මම ඇහැව්වේ ඔය කවුද කියලා.”
“මම රෝෂිණී.”
“රෝෂිණී මොනව වෙලාද මැරුණේ?”
“ගෙදර පිටිපස්සෙ පඩිය ළඟ ලිස්සලා වැටිලා ඔළුව වැදුණා. එච්චරයි මතක සිහිය නැතිව ගියා.”
“මොන අවුරුද්දෙ ද?”
“1997”

“ඊට පස්සේ කවද ද සිහිය ආවේ? මොනවද දැක්කේ?”
“මගේ ශරීරය මිනී පෙට්ටියක තියලා තිබුණා. ලස්සන සුදු සාරියක් අන්දලා තිබුණා දැක්කා. ඒ වෙලාවේ තමයි සිහි කල්පනාව ආවේ.”
“වෙන මොනවද දැක්කේ?”
“නෑදෑයො ඇවිත් හිටියා. මගේ අම්මයි, තාත්තයි අඬනවා දැක්කා. සුනන්දත් ඇඬුවා.”
“කවුද සුනන්ද කියන්නේ?”
“ඒ මාව බඳින්න හිටිය එක්කෙනා.”
“ඒ වෙනකොට රෝෂිණීට වයස කීයද?”
“අවුරුදු විසි අටයි.”

“රෝෂිණීගේ අවසන් කටයුතුවලින් පස්සේ කොහෙද ගියේ?”
“මම කොහේ යන්නද? ගෙදරමයි හිටියේ.”
“ඒ මොකද? මැරුණ නම් ඉවත් වෙලා යන්න එපෑයැ.”
“ඒ මොකටද කොහේවත් යන්නේ? මගේ ගෙදර, මගේ බඩුමුට්ටු.”
“ඊට පස්සෙ?”
“මම ගෙදර ඉන්නවා දැකලා අම්මයි තාත්තයි බය වුණා.”
“ඇයි අම්මයි තාත්තයි ඔයාට පින් දුන්නේ නැද්ද?”
“ඒ අය පින්කම් කළා. මට පින් දැනුණේ නෑ.”

“කට්ට¾ඩි ගෙනැල්ලා මාව ගෙදරින් පන්නන්න හැදුවා. මට කේන්ති ගියා. කේන්ති ගිහින් ඒ දෙන්නට කරදර කළා. බය කළා.”
“ඊට පස්සේ?”
“ඊට පස්සේ ඒ දෙන්නා ගෙදර ඉන්න බැරුව ගේ විකුණලා යන්න ගියා.”
“ඉතින් ඒ අය එක්ක ඔයාටත් යන්න තිබුණනේ?”
“මම මොකටද යන්නේ? ගියත් එතැනටත් කට්ටඩි ගෙනැල්ල මට කරදර කරන්න හදාවි. මම
මගේ ගෙදර නතර වුණා. මගේ අල්මාරිය, ඇඳුම් මේ ගෙදරමනෙ තිබුණේ.”
“මේ ගෙදරට කට්ටඩි ඇවිත් මොනවද කළේ?”
“මම දන්නෙ නෑ. අම්මයි, තාත්තයි තොවිල්වලට සූදානම් වෙනකොට මම පැනලා ගියා. ගිහින් සොහොනට වෙලා හිටියා. මාසෙකින් විතර ආයෙත් ආවා.”

“ඉතින් සොහොනෙම ඉන්න තිබුණනේ?”
“අපෝ එතැන හරියට සෙනඟ. එතැන ඉඩ නෑ. කරදරයි. මම ආපහු ගෙදර ආවා. මට මගේම
තැනක් තියෙද්දි මම මොකටද සොහොනෙ ඉන්නේ. එතැන ඉන්නෙ යන්න එන්න තැනක් නැති
අය.”
“ඉතින් මේ ගෙය අලුතින් ගත්ත අයට ඇයි කරදර කරන්නේ?”
“මම කාටවත්
කරදර කරන්නේ නෑ. මම මගේ අල්මාරිය ළඟට වෙලා ඉන්නවා. ඉතින් මේ අය මාව දැකලා
බය වුණාට මම මොනවා කරන්නද? මේ ගොල්ලොත් කට්ට¾ඩි ගෙන්නනවා. එතකොට මම පැනලා
යනවා. ආයෙත් එනවා.”

“මේක හරියන්නෙ නෑ. තමුන්ට මේ ගෙදර ඉන්න බෑ.”
ප්‍රේත ජීවියා යළිත් හඬන්නට වූවාය. නොනවත්තවා හඬන්නට වූවාය. ඇඩිල්ල නතර
කරන්නට අපහසු වූ බැවින් සිරිසේනගේ ශරීරයෙන් ප්‍රේත ජීවියා ඉවත් කළේය.

නැවැත බෝධි පූජා හතක් පවත්වන ලෙසද, ඒ ගෙන යන මල් වට්ටිය වේලපහින් සකස් කොට
රෝෂිණීගේ අල්මාරිය ඇති කාමරයේ තබා සවසට පන්සලට ගෙන යන ලෙසද උපදෙස් දුන්නේය.

බෝධි පූජාව ආරම්භ කළ මුල් දිනවල රාත්‍රියට ප්‍රේතිය මහ හ¾ඩින් හඬන හඬ
නිවෙසේ සියල්ලන්ටම ඇසෙන්න විය. වෙනදා ලස්සන සුදු සාරියකින් සැරැසී ඡායාවක්
ලෙස පෙනුණු කාන්තා රූපය, තද නිල් පැහැ ගත් මුහුණින් යුතුව කොණ්ඩය කඩාගෙන
සාලයේ පුටුවක හිඳගෙන සිටින අයුරු රෑ දවල් දෙකේම විටින් විට පෙනෙන්නට විය.
බෝධි පූජාවේ පස්වැනි දිනයේ සිට මෙතෙක් ගෙදර පැවැති කරදර තත්ත්වය මඳක්
අඩුවිය.
නැවත සිරිසේන පවුලේ අය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේය. එදින ද ඔහු දිෂ්ටි ගැන්වීය.

“කොහොමද රෝෂිණී?”
“අනේ මන්දා මහත්තයා”
“රෝෂිණී 1997 මැරුණා නේද?”
“ඔව්”

“ශරීරය වළ දැම්මා නේද?”
“ඔව්”
එතැනින් රෝෂිණී ඉවරයි. දැන් වෙනත් කෙනෙක්.”
“ඔව් මට දැන් තේරෙනවා.”
“මේ අය බෝධි පූජාවට යනකොට ඔබත් ගියාද?”
“ඔව්, අන්තිම දවස්වල ගියා.”
“මොනවද දැනුණේ?”
“අමුතු සුවයක් දැනුණා.”

“එතැන වෙන මොනව ද දැක්කේ?”
“මම වගේ තවත් අය එතැන හිටියා. ඒ අය මිනිස්සු මල් පහන් පූජා කරනකොට ඒවාට අත
ගසා සාධුකාර දුන්නා. මමත් එහෙම කළා. එතකොට හිතට විශාල සහනයක් දැනුණා.”

“රෝෂිණී හොඳ කෙනෙක්. කාටවත් කරදරයක්, පාඩුවක් නොකර ජීවත් වුණ කෙනෙක්. ඒ මේ
මගේ ගෙයය, මගේ අල්මාරියය, මගේ ඇඳුම්ය කියා හිතින් අල්ලාගෙන හිටපු නිසා
දිව්‍යාත්මයක් ලබා දිව්‍යාංගනාවක් වෙන්න බැරි වුණා. මගේය මගේය කියල ගෙවල්
‍ෙදාරවල් බදාගෙන හිටියම ප්‍රේතාත්ම ලබා ඒවායේම උපදින්න සිද්ධ වෙනවා.
රෝෂිණීත් මැරිලා ප්‍රේතියක් වෙලා උපන්නා. ඔතැනම තව දුරටත් හිටියොත් මේ අය
රෝෂණීව අල්ලලා බැඳලා මුහුදට දාන්න කියාවි.”

“අනේ! අනේ! එපා මහත්තයා. ඒක නම් කරන්න එපා. මට හොඳ තැනකට යන්න මහත්තයා උදවු කරන්නකෝ. එතකොට මහත්තයා කියන හොඳ තැනකට මම යන්නම්.”
“හොඳයි මම කියන දේ කරන්න ඕනෑ.”
“හොඳයි කියන දෙයක් මම කරන්නම්.”

“එහෙම නම් මේ සිරිසේනලා තවත් දවස් හතක් බෝධි පූජා තියාවි. හෙට ඉඳලා ඒ අය
සමඟ බෝධි පූජාවට ගිහින් ඒ දවස් හත එතැන නතර වෙලා ඉඳලා අටවැනි දවසේ ගෙදර
එන්න.”
“හොඳයි මම එහෙම කරන්නම්.”

බෝධි පූජාව පටන් ගත් දිනයේ සිට
නිවෙස ශුද්ධ පවිත්‍ර කොට අටවැනි දින දහවලට භික්ෂුන් වහන්සේ දස නමක් නිවෙසට
වඩම්මවා සාංඝික දානයක් පිරිනමා රෝෂිණිගේ නම කියා පැන් වඩා ඇයට පින්
අනුමෝදන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

මේ අතර රෝෂිණීගේ අල්මාරිය
අලුත්වැඩියා කොට පන්සලට දානය දවසේ පූජා කරන ලෙසද, ඇගේ ඇඳුම් සෝදා පිරිසුදු
කොට ගමෙන් අෑත සිටින නැතිබැරි කෙනකුට පරිත්‍යාග කරන ලෙසද, එසේ දෙන්න බැරි
ඇඳුම් පුලුස්සා දමන ලෙසද උපදෙස් දුන්නේය.

දානය පිරිනමා පැන්වඩා පින්
අනුමෝදන් කළ විට සිරිසේන දිෂ්ටි ගැන්වී “මම යනවා. මම යනවා. ආයෙත් එන්නෙ නෑ,
සාධු…. සාධු… මම කැලණියට යනවා” යි ප්‍රේත ජීවියා ඉවත්ව ගියාය.

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න…

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here