බැටික්ලෝ කැම්පස් වෙත මුදල් දුන් ආයතනය ගැන මහ බැංකුව සෞදියෙන් විමසයි

0
65


COLOMBO (News 1st) : බැටික්ලෝ කැම්පස් ආයතනයට මුදල් දුන් බව කියන ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන්, සෞදි අරාබියෙන් විමසීමට පියවර ගෙන තිබේ.

ඒ මුදල් දුන් බව කියන සෞදි සමාගම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා නොවීම හේතුවෙනි.

අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන, විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව හරහා එම විමසීම සිදුකිරිමට පියවර ගත් බවයි.

බැටික්ලෝ කැම්පස් ආයතනයට රුපියල් බිලියන 4.5ක් ලැබී ඇති අතර ඉන් රුපියල් බිලියන 3.6ක් සෞදි අරාබි ආයතනයෙන් ලැබී ඇති බවට අනාවරණ වී තිබේ.

විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ, එම මුදල්වලින් මේ වන විට රුපියල් 36000ක් පමණක් ඇති බවයි.

මෙරට බැංකු ගිණුම් 7ක් හරහා අදාළ ගනුදෙනු සිදුව ඇති අතර, එම මුදල් වෙනත් කටයුතු සඳහා යොදා ඇත්දැයි විමර්ශනය කරන බව ද එම කණ්ඩායම් ප්‍රකාශ කළේ ය.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය ස්ථාපිත ඉඩම සම්බන්ධයෙන් ද විමර්ශනයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ, අදාළ ඉඩම 2013 වසරේ සිට බලපැවැත්වෙන පරිදි 2018 වසරේදී දීර්ඝ කාලීන ඔප්පුවකින් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට පවරා ගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.

2013 වසරේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අදාළ ඉඩම නිදහස් කරනු ලබන්නේ, හිරා ෆවුන්ඩේෂන් ආයතනය වෙනුවෙනි.

කෙසේ වෙතත්, 2013 වසරේදී හිරා ෆවුන්ඩේෂන් ආයතනය වෙනුවෙන් ලබා ගත් මෙම ඉඩම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්, දීර්ඝ ලෙස විමර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.

බැටික්ලෝ කැම්පස් ආයතනය සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ, 2016 වසරේදී බව ද, මේ වන විට අනාවරණ වී ඇතැයි, එම කණ්ඩායම් තහවුරු කළේ ය.

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here