බංග්ලාදේශයට පරාජය වූ ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ දෙකට

0
32


සැප් 11, 2019 01:00
නිරෝෂාන් ප්‍රියංකර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල ඊයේ සහභාගිවූ මූලික වටයේ අවසන් තරගයෙන් බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හමුවේ ලකුණු 42කින් පරාජයට පත්විය.

මේ සමගින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට අපරාජිත බංග්ලාදේශ පිල සමත්වූ අතර ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමිවිය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 7ක් දැවී ලකුණු 273ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 47.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 231ක් පමණි.

පනදු 36කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස්කරමින් රොහාන් සංජය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 45කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 36ක් ඉනිමට එක්කළ නායක නිපුන් ධනංජය, අහන් වික්‍රමසිංහ සමගින් එක්ව සිවුවැනි කඩුල්ලට එක්කළ ලකුණු 53ක ඉනිමේ ඉහළම සබඳතාව විය. වික්‍රමසිංහ ලකුණු 33කට දැවී ගිය අතර ආරම්භ පිතිකරු කමිල් මිෂාරගේ ඉනිමද ලකුණු 33කට සීමා විය. නවෝද් පරණවිතාන සහ රවිඳු රසාන්ත ලකුණු 17 බැගින් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී රකිබුල් හසන් කඩුලු 3ක් බිඳ දැමු අතර සහ අෂ්රෆුල් ඉස්ලාම් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු මහමුදුල් හසන් ජෝයි ලකුණු 126ක් රැස් කිරීමට සමත් විය. පන්දු 140කදී හතරේ පහර 12කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 244ක් විය. ඔහු, ටොහිඩ් හරිඩෝයි සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු සංඛ්‍යාව 121කි. හරිඩෝයි ලකුණු 50ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංඛ කඩුලු 3ක් දවාගත් අතර අශේන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත්තේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here