පොල්පිතිගම ආදාගල කජු ගොවීන්ගේ අස්වැන්නට මුදල් ගෙවීම පැහැරහැරලා

0
47


පොල්පිතිගම, ආදාගල කජු ගම්මානයේ කජු ගොවීන්ගෙන් මුදල් ගෙවීමේ පදනම මත, කජු ලබාගත් සමාගමක් එම මුදල් ගෙවීම පැහැරහැරීමෙන් ගම්මානයේ කජු කර්මාන්තයේ නිරද 1000ක පමණ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

කටුගස්තොට ඉගිනියාගල පාරේ ග්‍රීන් කැන්ඩි නැමති සමාගමක් පවත්වාගෙන යන දිලිප් ඉන්දික කුමාර නැමැත්තෙකු ගොවීන්ගෙන් කජු මිලට ගෙන ඇති අතර ඔහු රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂ හැට තුන්දහසක මුදලක් ගොවීන් සඳහා ගෙවිය යුතු බවත් ගොවීන්ට තර්ජනය කරමින් එම මුදල් ගෙවීම පැහැර හරිමින් ඇති බවත් ප්‍රදේශයේ කජු ගොවීන් පවසති.

පසුගිය මාර්තු මස 7 වැනිදා අදාල ව්‍යාපාරිකයා විසින් 003986 චෙක්පත් අංකය දරන රුපියල් දෙකෝටි විසි අට ලක්ෂ හැත්ත තුන්දහස් දෙසිය තිස් එකක වටිනාකමකින් යුත් චෙක්පතක් ගොවීන් වෙත ලබාදී ඇති නමුත් එය මුදල් බවට හරවා ගැනීමට නොහැකි බව අදාල බැංකුව පවසා තිබේ. එසේම රුපියල් ලක්ෂ හය බැගින් ආදී වූ චෙක්පත් 5ක් ද නිකුත් කර ඇති අතර ඒවා මගින් ද ගොවීන්ට මුදල් ලබාගත හැකිවී නැත.

ගොවීන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය මාර්තු 19 වැනිදා පැමිණිල්ලක් ගොනුකර තිබුණ ද මේ දක්වා ද සාධාරණයක් ඉටුවී නොමැත. ව්‍යාපාරිකයා සතු බැංකු ගිණුමේ මුදල් පැවතිය ද ඔහු බැංකුව වෙත මුදල් නිකුත් නොකරන ලෙස පවසා තිබීම හේතුවෙන් ගොවීන්ට තම මුදල් ලබාගැනීමට නොහැකිවී ඇතැයි මේ වනවිට හෙලිව ඇත.

අදාල ව්‍යාපාරිකයා දුරකථනයෙන් අමතා අදාල මුදල ලබා නොදෙන බවත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂයේ සාමාජිකයන්ගේ නම් පවසමින් තර්ජනය කරන බවත් කජු ගොවීන් පවසයි. ඔහු මෙලෙස හැසිරෙන්නේ එම දේශපාලන සබඳතා හේතුවෙන් බව ගොවීන් චෝදනා කරයි.

කජු වගාවේ සිට පොතු ඉවත් කරන ලද කජු දක්වා පැමිණීමේදී විශාල ක්‍රියාවලියක් සිදුවන බවත් එම ක්‍රියාවලිය තුළ මෙම ප්‍රදේශයේ පමණක් දහසකට වැඩි පිරිසක් රැකියාවේ නිරතව සිටින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ කජු ගොවීන් මුහුණ දී ඇති මෙම ගැටලුව සම්බන්ධව සොයා බැලීමට එම ප්‍රදේශයට ගිය අවස්ථාවේය.

වසරේ එක් වරක් පමණක් කජු අස්වනු නෙලීම සිදුවන අතර එම අස්වැන්නට හිමි මුදල් නොලැබීමෙන් සමස්ත කජු කර්මාන්තයම බිඳවැටී ඇතැයි නාමල් කරුණාරත්න මහතා පවසයි. සිය කන කර ආභරණ සහ බැංකු ණය මගින් කර්මාන්තය ආරම්භකර පවත්වාගෙන යන ගොවීන් අස්වනු ලැබුණු පසු සිය ණය ගෙවා දමා නැවත කර්මාන්තය සිදුකරගෙන යන අතර මේ වනවිට අස්වනු සඳහා මුදල් නොගෙවීමෙන් කර්මාන්තය බිඳ වැටී ජන ජීවිතය ද අඩාල වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එසේම ගොවීන්ට ණය ලබා ගැනීමට ඇප අත්සන් කළ පුද්ගලයෙකු බැංකුවලින් සිදුකෙරෙන බලපෑම් හේතුවෙන් පසුගිය දා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ද නාමල් කරුණාරත්න මහතා හෙලිකළේය.

ගොවීන් මෙම ගැටලුවට විසඳුම් බලාපොරොත්තුවෙන් නීතියේ පිහිට පැතුව ද මෙතෙක් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නොමැත.

මෙම ගැටලුව ගැන සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොලිස්පතිවරයාට ලිපියක් ද යොමු කිරීමට කටයුතු කළ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ද දැනුවත් කළේය. එසේම මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග නීතීඥ සුනිල් වටගල මහතා සහ නීතීඥ සරත් කරුණාතිලක මහතා මගින් සිදුකිරීමට ද නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here