පුහුණුකරු වෛද්‍යවරයාට බැණවැදීම ගැන ලිඛිත පැමිණිල්ලක් තවමත් නෑ

0
98


පාපන්දු සභාපති අනුර ද සිල්වා

ශ්‍රී ලංකා පාපන්දු පිලේ පුහුණුවීම් සිදුකෙරෙන බැද්ධගාන පාපන්දු සංකීර්ණයේදී පුහුණුකාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු හා පාපන්දු කණ්ඩායමේ වෛද්‍යවරයකු අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධව තවමත් ලිඛිත පැමිණිල්ලක් ලැබී නැතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. එවැනි ලිඛිත පැමිණිල්ලක් නොමැතිව කිසිදු ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි යැයි ඒ මහතා අවධාරණය කළේය.

පාපන්දු පුහුනුකරු හා වෛද්‍යවරයා අතර යම් අදහස් හුවමාරුවක් සිදුවූ බව තමන්ට වාර්තා වී ඇතත් එය ඉතාම සුලු සිද්ධියක් බවත් පාපන්දු සම්මේලන සභාපතිවරයා පැවැසීය. “ලොකු ආරවුලක් වෙලා නෑ. සුලු සුලු සිද්ධීන් වෙන්න පුලුවන්. අපි පාපන්දුව ඉතා හොඳින් ගොඩනගා යම් වැඩ පිළිවෙළක් ඇති කරන වේලාවක්. අපට කවුරුත් සහයෝගය දිය යුතුයි. ඉදිරියේදී අප පාපන්දු ක්‍රීඩාව තව තවත් දියුණු මට්ටමට ගන්නවා. එතෙක් වැරදි හොයන්නේ නැතිව අපට සහය දිය යුතුයි” අනුර ද සිල්වා මහතා පැවැසීය.

බැද්දගාන සංකීර්ණයේ ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයන්ගේ පුහුණුව පසුගිය දිනෙක නිමාවීමත් සමග පුහුණුකාර්ය මණ්ඩල ප්‍රධානියා වෛද්‍යවරයාට බැණවැදී ඇත්තේ සෑම දිනකම පුහුණු සැසි සඳහා සහභාගී නොවන බව පවසමිණි. වෛද්‍ය සහයෝගය ස්වේච්ඡා තනතුරක් වන හෙයින් සෑම දිනකම පැමිණීම අත්‍යාවශ්‍ය නොවන බව වෛද්‍යවරයා පැවැසීමත් සමග ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධ ලිඛිත පැමිණිල්ලක් පුහුණුකරුගෙන් හෝ වෛද්‍යවරයාගෙන් ලැබුණහොත් සාධාරණ පරීක්ෂණයක් කිරීමට පාපන්දු සම්මේලනය පසුබට නොවන බවද සභාපතිවරයා ‘දිනමිණ’ ට පැවැසීය‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here