පිරිසුදු දෑත් ඇති මිනිසුන් ප්‍රධානත්වයට පත් කලහොත් කෙටි කලක් තුළ ගොඩනැගිය හැකියි..

0
71


ඉදිරියේදි ලෝකයා මුහුණදෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවලට ශක්තිමත් ජාතියක් ලෙස මුහුණදිම සඳහා සාම්ප්‍රදායික “කෘෂිකර්මය යෝධ පිම්මක් ඉදිරියට පැන කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු බවත්”, විශේෂයෙන් එහිදි නවීන කෘෂි තාක්ෂණික ශිල්පක්‍රම වහ වහා ග්‍රහණය කරගත යුතු බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

තවදුරටත් භූමිය වැඩි කළ නොහැකි නමුත්, භූමියේ ඵලදායිතාව බෙහෙවින් ඉහළ නැංවිය හැකි බව කී කථානායකවරයා දහඩිය හෙළන මිනිසුන් ගෞරවයට පාත්‍රවිය යුතු බවත්, ඔවුන් උපන් බිමට බරක් නොමැති බවද සඳහන් කළේය. රට පුරා විසිරි සිටින පන්ලක්ෂයකට අධික කුඩා තේ වතු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් කුඩා තේ වතු ආර්ථිකය හරහා අභිමානයක් සහිත මිනිසුන් ලෙස ජීවත් වන බවද, කථානායකවරයා පැවසුවේය.

ඒ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැවිලි සවිය ජාතික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

බටහිර ජාතීන් අප මාතෘ භූමියට හඳුන්වා දුන් වැවිලි ක්ෂේත්‍රයන් ගණනාවක් අතරින් වර්තමානය වන විට තේ වගාව පමණක් ශතක්තිමත් ව පවතිනුයේ යැ’යි කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය නිසා බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් , කුඩා තේ වතු සංවර්ධන අධිකාරයේ සභාපති විජේරත්න දේවගෙදර ඇතුළු පිරිසක් එක් වු වැවිලි සවිය 2019 සම්මාන උළෙලේදි කුඩා තේ වතු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය උදෙසා කැප වී කටයුතු කළ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ විශිෂ්ඨතම නිලධාරින් උදෙසා සහ තේ ගොවියන් උදෙසාද සම්මාන පිරිනැමිණි.

මෙහිදි විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුනර්ජිවනය උදෙසා විශේෂිතම කැපවීම් කළ ජන නායකයින් දෙදෙනකු සිහිපත් කරමින්, ගාමිණි දිසානායක අනුස්මරණ සම්මානය සහ රත්නසිරි වික්‍රමනායන අනුස්මරණ සම්මානයද ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින්ට ප්‍රදානය කෙරුණි.

මෙම සම්මාන ප්‍රධානොත්සවය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වු කරු ජයසුරිය මහතා සඳහන් කළේ නිදහස ලබන විට ලෝක වෙළඳපොලේ ශ්‍රි ලාංකාවට අපනයනයේදි හිමිව තිබු ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනිමට නොහැකි විම ආර්ථිකය නැගි සිටිමට ප්‍රධාන බාධාවක් වු බවයි.

කථානායකවරයා මෙසේද කිවේය.

කෘෂිකර්මය හා කෘෂිකර්මාන්තය අතර වෙනස අප වටහා ගත යුතුය. කෘෂිකිර්මයේදි සිදු වන්නේ බිමි සකසා වගා කිරිමටත් , අස්වැන්න නෙළා ගැනිමත් පමණයි. නමුත් කෘෂිකර්මානතය කියන්නේ ඊට වඩා ඉදිරියට ගිය අවස්ථාවක්. වගාවට අවශ්‍ය පොහොර ,කෘෂි රසායන වැඩි දියුණු කළ බීජ , තාක්ෂණික උපකරණ නිපදවීමත්, කෘෂි නිෂ්පාදන අගය එකතුකළ නිපැයුමක් ලෙස එළිදැකිවීමත්, කෘෂිකර්මාන්තයේදි සිදුවනවා. එවැනි කෘෂිකර්මාන්තයක් තුළින් පමණයි අනාගත පරපුර තුළ මේ කෙරෙහි විශ්වාසය උනන්දුව ජනිත කළ හැක්කේ. තරුණ තරුණියන් තම ජීවනෝපාය තෝරා ගන්නේ එයින් ලැබෙන ආදායම ගැන ‍සලකා බලාය. එසේ නම් තෘප්තිමත් විය හැකි ආදායමක් ලැබෙන රැකියාවක් ලෙස කෘෂිකර්මාන්තයේ යෙදිමට නම් කෘෂි තාක්ෂණය වහාම ආදේශනය කළ යුතුයි.

වසරකට වරක් කෘෂිකර්මය විෂය පිළිබඳව හොඳ දැනුමක් සහිත උපාධිධාරින් විශ්වවිද්‍යාලවලින් එළියට ආවත්, ඔවුන්ට තමන්ට ලැබුණු දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි පරිදි පරිසරය නිර්මාණය වී නැත්නම් ඵලක් නැත. ඒ නිසා කෘෂිකර්මයට සම්බන්ධ සෑම අමාත්‍යංශයක්ම දියුණු ආනාගත දැක්මක් සහිතව කටයුත් කළ යුතුයි. අද වැවිලි සවිය සම්මාන උළෙල වැදගත් උත්ප්‍රේරණයක්, කුඩා තේ වතු ක්ෂේත්‍රයට ලබා දෙන අවස්ථාවක්. නිරන්තරයෙන් ඇගයීම සෑම ක්ෂේත්‍රයකට අත්‍යවශ්‍යයයි. විවේචනයට, පරිභවයට වඩා අගය කිරිම හා ප්‍රශංසා කිරිම තුළින් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගත හැකියි.

ගෙවි ගිය වසර 04ක කාලය තුළ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය අත්පත් කරගෙන ඇති සෑම ජයග්‍රහණයකටම මෙම මූලධර්මය ඉවහල් වි ඇති බව පෙනේ. මෙවැනි ඇගයීමක්, සම්මාන උළෙලක් මේ ක්ෂේත්‍රයේ කිසිදවසක තිබි නැහැ. එම නිසා මෙම සංකල්පය ඵලදායි ලෙස යොදා ගනු ඇතැ’යි විශ්වාස කරනවා.

හෘද සාක්ෂියට එකඟව පිරිසුදු දෑතින් යුතුව මහජන සේවයට කැප වන නිර්මාණශිලි මිනිසුන් ආයතන ප්‍රධානින් ලෙස පත්කළ හැකි නම් මේ රට, රාජ්‍ය ආයතන පද්ධතිය කෙටි කලක් තුළ ගොඩනැගිය හැකි බවද එහිදි නිවැරදි පුද්ගලයින් තෝරා ගැනිම දේශපාලන අධිකාරියේ වගකීම බවද කථානායකවරයා පැවසීය.

– කතානායක මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here