පාපන්දු කළමනාකරුගේ හා පුහුණුකරුගේ ගැටුම්වලට එරෙහිව තරයේ අවවාද කොට ලිපි

0
26


වසර අගදී ප්‍රතිඵල සමාලෝචනයකින් පසු දැඩි පියවරක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කළමනාකරු සුනිල් සෙනවීර හා පුහුණුකරු රුමී පකීර් අලී යන මහත්වරු දෙදෙනා අතර හටගෙන ඇති මතභේද පිළිබඳ කරුණු විමර්ශණයට පත්කළ සත් පුද්ගල කමිටුව එම දෙදෙනාටම තරයේ අවවාද කොට ලිපි යැවීමට තීරණය කරයි.

තම තමන් වෙත පැවරුණු ජාතික වගකීම් කුමක්ද යන්න නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කරන ලෙස එම අවවාදාත්මක ලිපිවල කරුණු අන්තර්ගතවී ඇති අතර, පුහුණුකරුගේ කාර්යයන් හා ප්‍රතිඵල මේ වසරේ දෙසැම්බර් මාසයේ සමාලෝචනය කොට අවසන් නිගමණයකට එළැඹීමට තීරණයවී ඇත. දෙසැම්බර් මුල් සතියේ නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම පාපන්දු පුහුණුකරුට ලබාදී ඇති නව ඉලක්කය වන අතර එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකා පිල ගෙන ඒමට පුහුණුකරු අසමත් වුවහොත් තනතුරෙන් ඉවත් කිරීමට ද සාකච්ඡාවී ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ලෝක පාපන්දු තරගාවලියේ තරග කිහිපයක් ඉදිරියේදී පැවැත්වෙන බැවින් එක්වරම ප්‍රධාන පාපන්දු පුහුණුකරු ඉවත් කිරීම දුෂ්කර කටයුත්තක් බවය.

“කළමනාකරු හා පුහුණුකරු දෙනොටම අවවාද කරනවා. ඒ අය තම තමන්ගේ වගකීම් තේරුම්ගත යුතුයි. දෙසැම්බර් මාසයෙන් පසු අවශ්‍ය වුවහොත් සමාලෝචනයකින් පසු ප්‍රතිඵල හොඳ නැතිනම් දැඩි පියවර ගැනීමට විධායක කමිටුව කටයුතු කරයි. අපට නිලධාරීන් අතර ගැටුම් අවශ්‍ය නෑ. කණ්ඩායමක් ලෙස හොඳ ප්‍රතිඵල පමණයි අවශ්‍ය” සිල්වා මහතා පැවැසීය.

කළමනාකරු හා පුහුණුකරු දෙදෙනාගේම කටයුතු සොයා බැලීමට විශේෂඥ නිලධාරියකු ලෙස හර්ලි සිල්වේරා මහතා පත්කිරීමටත් පාපන්දු විධායක කමිටුව තීරණය කර ඇත. ඒ අනුව පුහුණුකරු හා කළමනාකරු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සියලු කටයුතු හර්ලි සිල්වේරා මහතා මගින් පාපන්දු සම්මේලනයට දැනුම්දිය යුතු වේ.

පාපන්දු කණ්ඩායමේ කළමනාකරු සුනිල් සෙනවීර හා පුහුණුකරු රුමී පකීර් අලී යන මහත්වරු දෙදෙනා අතර හටගෙන ඇති මතභේද පිළිබඳ කරුණු විමර්ශණයට විධායක කමිටු තීරණයක් අනුව සත්පුද්ගල කමිටුවක් මෙයට මාසයකට පමණ පෙර නම්කළ අතර සති තුනක් තිස්සේ විමර්ශන කටයුතු පැවැත්විණි.

මේ විමර්ශන කමිටුවට පාපන්දු සභාපති අනුර ද සිල්වා, ලේකම් යූ. එල්. ජස්වර්, උප සභාපතිවරුන් වන නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති උපාලී හේවගේ, සහකාර භාණ්ඩාගාරික ඉන්දික තේනුවර යන මහත්වරු හා විධායක සභිකයන්වන අශෝක නාවුලගේ හා ඒ. ජී. සී. දේශප්‍රිය යන මහත්වරු ඇතුළත්ව සිටිති.

පාපන්දු කළමනාකරු හා පුහුණුකරු අතර බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී සිදුවූ ගැටුමක් පසුව මිරිහාන පොලිසියට ද වාර්තාවී තිබිණි. එමෙන්ම දෙපාර්ශ්වය විසින් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාටද පැමිණිලි කර ඇති අතර විධායක සභාවේදී මේ ගැටුම පිළිබඳ විධායක සභිකයන්ද ප්‍රශ්න කර ඇත. එබැවින් දෙපාර්ශ්වයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසදීම සඳහා මේ සත් පුද්ගල විමර්ශන කමිටුව පත්කිරීමට පාපන්දු විධායක සභාවේ තීරණය විය. පසුගිය කාලයේ කොරියාවේ, ජපානයේ හා බංග්ලාදේශයේ පැවැති පාපන්දු සංචාරවලදී සිදුවූ යම් යම් ප්‍රශ්න විවිධ පාර්ශ්ව පාපන්දු සම්මේලනයට ඉදිරිපත්කර ඇති අතර ඒවා පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව විධායක සභාවේදී ඉල්ලීම්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here