පාකිස්තානයට එරෙහි අද තරගය | දිනමිණ

0
46


ශ්‍රී ලංකාව දින්නත් පැරදුණත් දිනුම්

වසර 10කට පසු තැනක් ලැබුණු මා විස්සයි 20ට පමණක් ලේබල් වෙන්නේ නෑ 
– භානුක

සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර තෙවැනි එක්දින තරගය ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7ට ආරම්භ වෙයි. මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් සටහන් කිරීම උදෙසාය.

නිමාවූ තරග දෙකම ජයගෙන තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටින බැවින් තරගාවලියේ කුසලානය දැනටමත් ශ්‍රී ලංකාව සතුව තිබේ. අයි. සී. සී විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත දර්ශකයේ අංක එකේ පසුවන පාකිස්තානය පරදා පළමු වරට තරගාවලි ජයක් වාර්තා කිරීම, විස්සයි 20 තරගාවලි 6ක් පාකිස්තානය හමුවේ පරාජයවී 7වැනි විස්සයි 20 තරගාවලිය ජය ගැනීම විශේෂත්වයකි.

ලහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් පාකිස්තානය ලකුණු 35කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු තරගයේදී ලකුණු 64ක ජයක් වාර්තා කළහ. මෙතෙක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිපදෙනකු වෙනුවට අද තරගයේදී අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනකුට අවස්ථාව ලබාදීමට සූදානමින් සිටී.

දෙවැනි විස්සයි 20 තරගයේ වීරයා බවට පත්වෙමින් අර්ධ ශතකයක් වාර්තා කළ භානුක රාජපක්ෂ පන්දු 48කදී හයේ 6ක් හා හතරේ 4ක් සමග ලකුණු 77ක් ලබාගත් අතර සතර අතට පහර එල්ල කරමින් ඔහුගේ ලකුණු 50 පසු කළේ පන්දු 31කට මුහුණ දෙමිනි. 27 හැවිරිදි භානුක රාජපක්ෂ කොළඹ රාජකීය විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණවී ක්‍රීඩා සමාජ කිහිපයක දක්ෂතා දක්වා දැන් බී. ආර්. සී. පිල නියෝජනය කරමින් සිටී.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ භානුක රාජපක්ෂ “ මා හුඟක් දෙවියන් කෙරෙහි විශ්වාස කරනවා. එහෙම ලොකු විශ්වාසයකින් තමයි මා පාකිස්තානයට ආවේ. මට මේ අවස්ථාව ලබා ගැනීමට වසර 10ක් බලා ඉන්න වුණා. ඒත් හරි වේලාවට මට තැන ලැබුණා. තරගාවලිය ජයග්‍රහණය කිරීමත් මගේ දක්ෂතා ගැන බැලීමත් අනුව සියල්ල නිවැරදි වේලාවට වූ බව හිතනවා“ යනුවෙන් පැවැසීය.

“ අපි හැම තිස්සේම කතා කළේ මේ තරුණ කණ්ඩායමේ දක්ෂතා අනුව තරග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලයි. ලෝකයේ හොඳම විස්සයි 20 කණ්ඩායම පරාජය කරන්න අපට හැකිවීම විශේෂයි. ලාහෝර්වලදී මේ දක්ෂතා දක්වන්න අපේ මව්පියන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබුණා. ඒ නිසා නිදහසේ දක්ෂතා දක්වන්න හැකිවුණා. අපේ තරුණ කණ්ඩායම හමුවේ පාකිස්තානය ඔවුන්ගේ තැන රැක ගන්න හැමවිටම උත්සහා කළා. අපට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑ. අපට ඕනෑ වුණේ ජයග්‍රහණය පමණයි. ඒ බව වටහාගෙන අපේ තරුණ ක්‍රීඩකයෝ නිදහසේ ක්‍රීඩා කළා.

“මා දන්නේ නෑ කණ්ඩායමට මාව කාලයක් යනතුරු තෝරා නොගත්තේ ඇයි කියලා. මට ලැබුණු හැම අවස්ථාවේම මා හොඳින් ක්‍රීඩා කළා. හැම දෙයකටම නිවැරදි වේලාව එන්න ඕනේ. ඒ තැන ලැබෙන කල් කළබල වෙන්න හොඳ නෑ. කාටවත් දොස් නගන්න හොඳත් නෑ. මේ ඔක්කොම අපට දෙවියෝ දෙන දේවල්. ඒක මිනිසුන් වුණාම තේරුම්ගෙන කටයුතු කළොත් සතුටින් කටයුතු කරන්න පුලුවන්. ‍ හොඳ දවස් එන්නත් පුලුවන්. නරක දවස් තියෙන්නත් පුලුවන්. පසු තැවෙන්න හොඳ නෑ“

“ මා කැමැති නෑ විස්සයි 20 විතරක් ලේබල් වෙනවට. ටෙස්ට්, එක්දින හා විස්සයි 20 ඕනෑම තරග රටාවක මට යමක් කරන්න පුලුවන්. එකම බලාපොරොත්තුව අංශ තුනෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ලැබෙන අවස්ථාවේ යුතුකම් කරන්නයි“ භානුක රාජපක්ෂ පැවැසීය. ඔහුගේ පළමු විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගයේදී මංගල අර්ධ ශතකය රැස්කිරීම කැපී පෙනෙන දක්ෂතාව විය.

කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 20කදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබාගත් අතර පාකිස්තානය ඕවර් 18.5කදී සියල්ල දැවී ලකුණු 147කට ඉනිම සීමා විය. ශ්‍රී ලංකාව මේ තරගයේදී ලබාගත් ලකුණු එකතුව පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිලක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසද වාර්තා පොතට එක්විය.

පා දඟ පන්දු යවන වනිඳු හසරංග පන්දු 4කදී අහමඩ් ෂේශාඩ්, උමාර් අක්මාල් හා නායක සෆ්රාස් අහමඩ් යන ප්‍රබල පිතිකරුවන්ගේ කඩුලු තුන බිද හෙලීම තරගයේ හැරවුම් ලක්ෂය වූ අතර ආරම්භක පිතිකරුවන්වූ බාබර් අසාම් (ලකුණු 3) හා ෆකාර් සමාන් (ලකුණු 6) පැමිණි විගස ක්‍රීඩාගාරයට යැවීමට වේග පන්දු යවන නුවන් ප්‍රදීප් හා කසුන් රාජිත සමත් වූහ. මේ හේතුවෙන් පාකිස්තාන මුල් කඩුලු පහම ලකුණු 51කට බිද හෙලා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර අක්මාල් බින්දුවට දැවීගිය පසු ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවුණි. ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් හතරේ 8ක් සමග පන්දු 29කදී ලකුණු 47ක් ලබාසිටි ඉමාඩ් වසීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඉසුරු උදාන සමත්වීමෙන් පාකිස්තාන පරාජය තහවුරු විය. ෂෙහාන් ජයසූරිය හතරේ හතරක් සමග පන්දු 28කදී ලකුණු 34ක් රැස්කළ අතර භානුක සමග එක්ව ෂෙහාන් ලකුණු 94ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එය පාකිස්තානයට එරෙහිව ඕනෑම රටක් වාර්තා කර තිබූ වැඩිම සම්බන්ධතාව වීම විශේෂත්වයකි. දසුන් ශානක හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග පන්දු 15කදී ලකුණු 27ක් ලබා ගැනීමද පාකිස්තානයට පීඩනයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here