පළමුවරට කාලගෝල නාටකය කටාර් වලදී වේදිකාගත වෙයි

0
130


කටාර් රාජ්‍යයේ හි පිහිටි වසර 17 කට වැඩි දිගු ඉතිහාසයකට උරුමකම් කියනා එකම ශ්‍රී ලාංකික ප්‍රජා පාසල වන්නේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලයි. මේ දිගු ඉතිහාසය තුල ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා එම සංස්කෘතියෙහි වන වටිනාකම් සුරකිමින් එම සිසු දරු දැරියන්ට එම මහඟු අත්දැකීම් ලබා දීම සඳහා පාසල විසින් සංවිධානය කල ජාතික හා කලා උත්සවයන් රාශීයකි.

සිංහළ අවුරුදු උත්සවය වෙසක් හා නත්තල් උත්සවය ආදී උත්සවයන් වලට අමතරව පාසලේ රංග කලා කවයේ සංවිධායකත්වයෙන් නිශ්පාදනය කල නාට්‍ය කීපයක්ද ඒ මහඟු අත්දැකීම් අතර විය. නමුදු ඒ සියල්ලක් ම ඉංග්‍රීසි භාෂාවෙන් ම නිශ්පාදන වූ අතර මෙවර ඒ නිසාම අපේ ශ්‍රී ලාංකික සිසු දරු දැරියනට අපේම මව් බස වූ සිංහළ භාෂාවෙන් වූ කිසියම් කලා කටයුත්තක් නිමවනු ලැබීම වඩා වැදගත් බව පාසලේ ගරු සභාපති රොෂාන් බාලසූරිය මහතාගේ අදහස වීය.

ඒ අනුව ගරු අධ්‍යක්ෂ මණ්ඩලය හා මේ පිළිබඳව වූ කතා බහේදී ප්‍රවීන කලාකරුවෙකු වූ රුවන් දනන්සූරිය මහතා අපේ සංස්කෘතියේ මහගු දායාදයක් වන ඉපැරණි කලා කෘතියක් වූ නාඩගම් ශෛලියේ නාට්‍ය නිශ්පාදනයක් කරළියට ගෙන ඒම සුදුසු බවට වූ යෝජනාව ඉදිරිපත් කරන ලදි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් පවා ගිලිහී යන වටිනා අස්පර්ශණීය උරුමයක් වූ නාඩගම් ශෛලියේ නිශ්පාදනයක් කිරීම වඩාත් වැදගත් බව ඒ මහතාගේ පෙන්වා දීමෙන් ගරු සභාපති රොෂාන් බාලසූරිය මහතා ප්‍රමුඛ පාසලේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අදහස එයම වී මෙසේ මෙදා මෙම දැවැන්ත නිශ්පාදනය සිදුවෙමින් පවතී.

ඒ අනුව ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ සිසු සිසුවියන් ට මනා අත්දැකීමක් ලබා දෙමින් ඔවුනගේ සහභාගිත්වයෙන් කාලගෝල නාඩගම කරළියට වැඩම්මවීම නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුල පාසල් පරිශ්‍රයේදී සිදුවෙයි.

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාලයේ දෙවැනි ලේකම් තනතුරෙහි රාජ්‍ය තාන්ත්‍රිකව සේවය කරනා ශ්‍රී ලංකාවේ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලද රුවන් දනන්සූරිය ප්‍රවීන කලාකරුවාණන් පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ගරු සාමාජිකයෙකු වීමද මෙම දැවැන්ත කාර්‍යය මල් පල ගන්වන්නට මනා පිටුවහලක් වූ අතර ගරු සභාපති රොෂාන් බලාසූරිය මහතාගේ ආරාධනයෙන් ඔහුගේ සම්බන්ධීකරණයෙන් මේ වන විටත් කාලගෝල නාට්‍ය යේ පුහුණුවීම් කටයුතු මනා සේ ඉටු වනු අපට දක්නට හැකිවෙයි.

කටාර් හි ශ්‍රීලංකා තානාපති කාර්‍යයාලයේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පාලනය වන ස්ටැෆර්ඩ් ශ්‍රීලංකා පාසලේ මෙම දැවැන්ත කලා නිර්මාණය සඳහා ගරු තානාපති කිත්සිරි ඇතුලත්මුදලි මැතිතුමා ඇතුළු එම කාර්‍යමණ්ඩලයෙන් ලැබෙනා උපදෙස් හා දායකත්වයද අපි මේ අවස්ථාවේ මහත් ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

මෙම කාලගෝල නාඩගම ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ගෞරවාදරයට පත්වූ මනමේ ශෛලිගත නාට්‍ය යේ ද මුල් ගුරු වූ බලපිටිය අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ මුල් පිටපත ඇසුරෙන් නිශ්පාදනය වන්නක් වන අතර එතුමාණන්ගේ පුතණුවන් වූ කලාශූරී පුණ්‍යසේන ගුණසිංහයන් විසින් දික්තල කාලගෝල යන නමින් නිශ්පාදනය කොට ශ්‍රී ලංකාවේ මහත් සේ ජනප්‍රිය වූ නාඩගම වූයේද එයයි . එහි වසර විසිපහක කාලයක් දික්පිටියා ගේ චරිතයට පණපෙවූ කලා ශිල්පියා වූ කලා භූෂන රුවන් දනන්සූරිය මහතා ගේ දායකත්වය ඇතිව මෙම නිශ්පාදනය සිදු කිරීමට ලැබීමද විශේෂයෙන් සඳහන් කරනු වටී.

ඔවුනටද උපහාරයක් වේවා යන මූලික අරමුණින් මෙම කාලගෝල නාඩගම මෙදා ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල වෙනුවෙන් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දශක දෙකක් පමණ මෙම ක්ෂේත්‍රයේ මනා නිපුණත්වයක් ලබා ඇති පැතුම් චතුරංග දනන්සූරිය මහතා විසින් වන අතර ඔහු කුඩා කල සිටම බොහෝ විදෙස් සංචාරතුලින් සුවිශේෂී සම්මාන රාශියක් දිනාගනු ලැබූ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙකි.

මෙයට දායක වන අනෙකුත් ශිල්පීන් අතර සංගීතය මෙහෙයෙවීම ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රවර්ධන අංශයේ වජිර ප්‍රේමතිලක මහතා විසින් සිදු කරනු ලබනා අතර සර්පිනා වාදනයෙන් තිස්ස ජයවර්ධන මහතාද බටනලා වාදනයෙන් දිනන්ජන මධුශංක මහතාද මෙයට එක්වෙයි . පවිත්‍ර ශක්ති දනන්සූරිය මහතා මෙහි මද්දල් වාදනයෙන් එක්ව සිටිනා අතර මද්දලය නොමැති තැන නාඩගමක්ද නැතුවා ය යන වදන තහවුරු කරමින් මෙහි අධ්‍යක්ෂක පැතුම් චතුරංග දනන්සූරිය මහතාද මද්දල් වාදනයෙන් මෙම නාඩගමෙහි රිද්මයානුකූල ගායනයන් හා ගමන් තාල වඩාත් ඔපවත් කරනායුරු අපට දැකගැනීමට හැකිවෙයි.

එසේම මෙම කාලගෝල නාට්‍ය යෙහි වේශ නිරූපනය සිදු කරනු ලබන්නේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ හිටපු ප්‍රධාන වේශනිරූපන ශිල්පියා වූ ගාමිණී කොස්තා මහතා ගේ දායකත්වයෙනි. මෙහි රංග ආලෝකකරණය පාසලේ ගරු අධ්‍යක්ෂක මන්ඩලයේ සමාජික රුක්ෂාන් කරුණාරත්න මහතා විසින් ද ශබ්ද තරංඟ මෙහෙයුම අරුණ ඩි කොස්තා මහතා විසින් ද සිදුකරනු ලබනු ඇත.

ජාතක කතාවක අනුසාරයෙන් වූ පුවතක් සැබවින්ම ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ සිසු දරු දැරියන්ගේ දක්ෂතාවයන් කුළු ගන්වා මෙවන් දැවැන්ත නිශ්පාදනයක් කරන්නට වෙර දිරි දීම පිළිබඳව මෙයට දායක වන ඔවුන් හැමදෙනටම අපගේ හෘදයාංගම ස්තූතිය මෙසේ පිරිනමන්නෙමු.

මෙතෙක් මෙවන් දැවැන්ත කලා නිර්මාණයක් නිශ්පාදනය නොවුන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල තුලින් මෙසේ අපගේ සංස්කෘතික අංගයන් නැවත ඔප් නංවා අපේ මව් රටින් ගව් සිය දහස් ගණන් දුරින් දිවි ගෙවනා අපේම දරු දැරියනට එම අත්දැකීම විඳගැනීමට මං සැලසීම පිළිබඳවද ගරු සභාපති රොෂාන් බාලසූරිය මහතාට ද එම ගරු අධ්‍යක්ෂ මණ්ඩලයටද අපේ සුවිශේෂ ස්තූතිය හිමිවිය යුතුය.

එසේම මෙම කලා කටයුත්ත සාර්ථක කර ගැනීමට තම උපරීම කැපකිරීම සිදු කරනා කටාර් හි ස්ටැෆර්ඩ් පාසලේ ගරු විදුහල්පති තුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍යමණ්ඩලයටද අපේ ස්තූතිය පුද කරමින් මෙම දැවැන්ත නිශ්පාදනය නරඹන්නට කටාර් හි වෙසෙනා ශ්‍රී ලාංකික ඔබ හැමටම මෙසේ ආරාධනා කර සිටින්නෙමු !

– සංවිධායක මණ්ඩලය

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

0

SHARES

මෙය මිතුරන්ට Email කරන්න



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here