නායක හිමියන් බියවද්දා කෝටි දහයක් ඉල්ලූ සැකකරුවන් අත්අඩංගුවට

0
48


දඹුල්ල රජමහ විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර හා මාතලේ දිසාව භාර උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය අඹගස්වැවේ  ශ්‍රී රාහුල හිමියන්ට අවස්ථා කීපයකදී දුරකථනය ඔස්සේ තර්ජනය කරමින් රුපියල් කෝටි දහයක් කප්පම් ගැනීමට උතසහ දැරූ තරුණයින් තිදෙනකු සහ ඔවුන් ඒ සදහා උපයෝගී කරගත් ජංගම  දුරකථන පහක් හා පැට්‍රල් බෝම්බයක්, දඹුල්ල පොලිසිය මගින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථන අංක  ඔස්සේ පසුගිය මස 20 වැනිදා සිට සති තුනක පමණ කාලයක් තිස්සේ අධිකරණ නියෝගයක් මත සුක්ෂමව  සිදුකල විද්‍යාත්මක විමර්ශනයකින් පසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසිය.

මෙම සැකකරුවන් දැනට තහනමට ලක්කර ඇති තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයින් ලෙස පෙනි සිටිමින්  නායක හිමියන් බිය වද්දමින් කප්පම් ගැනීමට උත්සහා දරා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු දඹුල්ල, උසාවිය හන්දිය පදිංචි 34 හැවිරිදි අයෙකි. දෙවන සැකකරු සිගිරිය, පොතාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි තෙවන සැකකරු 19 හැවිරිදි දඹුල්ල, රත්මල්කටුව පදිංචි අයෙකි.

පළමු හා දෙවන සැකකරුවන් නායක හිමියන්වැඩ වෙසෙන දඹුලු මැද පන්සල විහාරස්ථානයට  යාබදව පිහිටි විහාරස්ථානයක නායක හිමියන්ගේ වාහනයක රියදුරන් වශයෙන් සේවය කරන දෙදෙනකු බව පොලිසිය කියයි.

නායක හිමියන් ගමන් කරන වාහනයට පැට්‍රල් බෝම්බ ගසා හානි කිරීමේ උත්සාහයක්ද  තිබී ඇති බවද  සැකකරුවන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් තිදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here