නවසීලන්ත වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා මැද පෙළ කඩා දමති

0
62


දෙවැනි දිනටත් වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ වර්ෂාවෙන් ඇතිවූ බාධක මැද නවසීලන්ත වේග පන්දු යවන්නෝ එල්ල කළ පීඩනයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 144ක් ලබා සිටියි. පී. සරා ඕවල් පිටියේ පෙරේදා තරගය නතර කරද්දී කඩුලු 2කට ලකුණු 85ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඊයේ දෙවැනි දිනයේ ඕවර් 30.3කට මුහුණදී කඩුලු 4ක් බිඳ වැටී තවත් ලකුණු 59ක් එක්කර ගත්හ.

දිවා විවේකය සඳහා තරගය නතර කිරීමට ඔන්න මෙන්න තිබියදී පස්වරු 12.40 පමණ ඇද හැලීමට පටන්ගත් වර්ෂාව දිගින් දිගටම පතිතවී ක්‍රීඩා පිටිය තෙත බරිත වීමෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයකට පත්වුණි.

මුල් දිනයේ තරගය නතර කරද්දී නොදැවී ලකුණු 49ක් ලබා සිටි දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 23වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඔහු පන්දු 165කට මුහුණදී හතරේ පහර 6ක් සමග ලකුණු 65ක් ලබා ගත්තේය. කරුණාරත්නගේ ඉනිම හැරුණු කොට ඊයේ දිනයේ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 32ක් ලැබීම සැලකිය යුතු දක්ෂතාවකි. ධනංජය පන්දු 62කදී හතරේ පහර 4ක් එල්ල කොට ඉතා ඉවසීමෙන් කඩුල්ලේ රැදී සිටියේය.

ශ්‍රී ලංකා මැද පෙළ යළිත් දුරුවල තත්ත්වයකට පත්කළ ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුති එකම ඕවරයකදී කඩුලු දෙක බැගින් ලබා ගැනීම තරගය නවසීලනත්ය දෙසට යොමු වීමකි. සෙමින් ගොඩ නැගෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම තමන් වෙත උදුරා ගැනීමට මේ වේග පන්දු යවන්නෝ දෙදෙනා සමත් වූහ.

ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් ජනිත් දෙදෙනාම බෝල්ට් යැවූ 10වැනි ඕවරයේදී ක්‍රීඩාගාරයට යැවීමට සමත් විය. මැතිව්ස් ලකුණු 2ක් ලබා සිටියදී පා ඉන්න ඉහළින් යන පන්දුවකට අනවශ්‍ය ‘හුක්’ පහරක් එල්ල කරද්දී කඩුලු රකින ක්‍රීඩක වොට්ලින් අතට උඩ පන්දුව ලැබී දැවී ගිය අතර, කුසල් ජනිත් බෝල්ට් ගේ එම ඕවරයේ 5වැනි පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදින් ලකුණු නොලබාම දැවී ගියේය.

ටිම් සවුතීගේ 16වැනි ඕවරයේ දිමුත් කරුණාරත්න ‘ඩ්‍රයිව්’ පහරකට ගොස් කඩුලු රකින වොට්ලින් අතට උඩ පන්දුවක් දී දැවී ගිය අතර එම ඕවරයේ අවසන් පන්දුවේදී දික්වැල්ල යළිත් කඩුලු රකින්නාට උඩ පන්දුවක් දී බින්දුවට දැවී ගියේය. සෑම අංශයකින්ම දස්කම් දක්වන දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 5ක් ලබා සිටියේය.

මැතිව්ස් දවා ගැනීමත් සමග නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 250ක් සම්පූර්ණ කළ තෙවැනි පන්දු යවන්නා ලෙසට ට්‍රෙන්ට් බෝල්ට් වාර්තා පොතට එක්විය. මෙයට පෙර ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි (කඩුලු 431) හා ඩැනියෙල් විටෝරි (කඩුලු 361) නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ ඉදිරියෙන් සිටින පන්දු යවන්නෝ වෙති. ඊයේ දිනයේ කඩුලු දෙකක් ලබාගත් ටිම් සවුති ටෙස්ට් කඩුලු 247ක් ලබා සිටී.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here