දස වසරකට පසු ටෙස්ට් වසන්තය රැගෙන ශ්‍රී ලංකා පිල දෙසැම්බරයේදි පාකිස්තානයට

0
86


වසර දහයකට පසුව පාකිස්තානයට නැවත ටෙස්ට් තරග වසන්තය උදා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙසැම්බරයේ රාවල්පිණ්ඩි සහ කරාච්චි නගරවලදි ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කරයි.දෙපිල අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 11 සිට 15 දක්වා පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය 19දා සිට 23 දක්වා ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පිල මීට පෙර ඔක්තෝබරයේදි ටෙස්ට් තරගවලට ක්‍රීඩා කිරීමටත්, දෙසැම්බර් මාසයේදි එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමටත් නියමිතව තිබුණ ද, ටෙස්ට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල තත්ත්වය පරීක්ෂා කිරීමට සිදුවී තිබූ බැවින් එක්දින තරගාවලිය පළමුව පැවැත්විණි.

එක්දින තරග සංචාරය සාර්ථකව නිමාවට පත්වීම හේතුවෙන් ටෙස්ට් තරගමාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ එකඟතාව පළවීමෙන් පසුව ඒ සඳහා දින වෙන් කෙරිණි. එක්දින තරගාවලිය අතරතුර පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ තලයක පැවැතීමත්, තරග සඳහා නරඹන්නන් අතිවිශාල සංඛ්‍යාවක් එක්රොක් වීමත් නිසා පාකිස්තානය නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සාර්ථකව අවතීර්ණ වූ බව පැහැදිලි විය.

ලොව සෙසු රටවල් සේම පාකිස්තානය තුළත් දැන් ක්‍රීඩාවට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂ සකීර් ඛන් ප්‍රකාශ කළේය.

‘ටෙස්ට් තරගමාලාව සඳහා තම කණ්ඩායම එවීමට එකඟවීම නිසා අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුද කරනවා. එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත අප රට තුළ ආරම්භ කිරීමට අප දරන ප්‍රයත්නයට සැළකිය යුතු දායකත්වයක් ලබා දීමක්. නව ප්‍රේක්ෂකයන් පිරිසක් සහ තරුණ පරපුරක් ක්‍රීඩාවට ආකර්ශනය වීමට එය රුකුලක් වේවි.’ ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘අපගේ පෙර සංචාරය මත පදනම්ව පාකිස්තානය තුළ තත්ත්වය පිළිබඳ සෑහීමකට සහ ප්‍රසාදයකට පත්වුණා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හිතකර පරිසරයක් ඇති නිසා නැවත පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට අප එකඟතාව පළ කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ලොව සෑම රටක්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සත්කාරකත්වය ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. පාකිස්තානයට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යාමේ කොටස්කරුවන් වීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here