දඹුල්ලට ලකුණු 2ක තියුණු ජයක්

0
30


සුපිරි පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති මූලික වටයේ සිවුවැනි තරගයෙන් ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වුහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල ඕවර 46.2කදී ලකුණු 223කට දැවී ගිය අතර එම ඉලක්කය හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 49.4කදී සිල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221ක් පමණි.

පවන් රත්නායක ලකුණු 54ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ගියත්, අවසන් ඕවරයේදී අශේන් ඩිල්හාර දුවද්දී දැවී යෑමත් සමග එම බලාපොරොත්තු බිඳ වැටිණි.

ලකුණු 79කට කඩුලු 4ක් අහිමිව තිබියදී පිටියට පිවිසි පවන් රත්නායක ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 210ක් විය. ඉන් පෙර දුලිත් වෙල්ලාලගේ (31) සමගින් 6 වැනි කඩුල්ලට ලකුණු 61ක් සහ 7 වැනි කඩුල්ලට සඳුන් මෙන්ඩිස් සමගින් ලකුණු 63ක සබඳතා ගොඩනැගීමට රත්නායකට හැකිවිය. වෙල්ලාලගේ ලකුණු 31කට දැවී ගිය අතර පන්දු 28කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 37ක් ලබාසිටියදී මෙන්ඩිස්ගේ ඉනිම නිමාවිය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නායක නවෝද් පරණවිතාන පන්දු 83කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහර 4ක් සමගිනි.

පන්දු යැවීමේදී අශේන් ඩැනියෙල් සහ සුදීර තිලකරත්න කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

ලකුණු 15කට පළමු කඩුල්ල අහිමි වීමෙන් පසු පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම ගොඩනැගීමට ආරම්භක පිතිකරු සුපුන් සුමනරත්න සමග එක්වූ රවිඳු රසාන්ත වේගවත් ඉනිමක් දියත් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 119 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ලකුණු 104කින් ගොඩනැගුණු එම සබඳතාව බිඳ වැටුණේ ලකුණු 53ක් ලඉබාසිටි රසාන්ත දැවී යෑමෙනි. පන්දු 59කට මුහුණදුන් ඔහු හතරේ පහර 7ක් ඉනිමට එක්කර ගත්තේය. සුපුන් ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 135දී දැවී යනවිට ලකුණු 56ක් රැස්කර තිබිණි. හතරේ පහර 7ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිම පන්දු 79ක් වැය විය. දිනෙත් ජයකොඩි ලකුණු 29ක් ඉනිමට එක්කළ අතර පන්දු යැවීමේදී සඳුන් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත්තේය. නවෝද් පරණවිතාන, දුලිත් වෙල්ලාලගේ සහ අශේන් දිල්හාර කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

මේ තරගාවලියේ 5වැනි තරගය ලෙස ගාල්ල සහ කොළඹ අද තරග වදින අතර හෙට දඹුල්ල සහ මහනුවර අතර මූලික වටයේ අවසන් තරගය පැවැත්වේ.

මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 2ක 23 වැනිදා අවසන් මහා තරගයට එක්වන අතර අනෙක් කණ්ඩායම් 2ක 22 වැනිදා තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිය.

දඹුල්ල පිල – 223යි. (ඕවර 46.2) සුපුන් සුමනරත්න 56, රවිඳු රසාන්ත 53, දිනෙත් ජයකොඩි 29 (සඳුන් මෙන්ඩිස් 55/3, නවෝද් පරණවිතාන 29/2, දුලිත් වෙල්ලාලගේ 38/2, අශේන් දිල්හාර 38/2)

ගාල්ල පිල – 221යි. (ඕවර 49.4) පවන් තරත්නායක 54, නවෝද් පරණවිතාන 40 (අශේන් ඩැනියෙල් 50/3, සුදීර තිලකරත්න 53/3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here