ත්‍රිපුද්ගල මහාධිකරණයේ සිය නඩුව විභාග නොකරන්නැයි ඉල්ලූ ගෝඨාගේ පෙත්සම 10 දක්වා කල්යයි

0
46


මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවතින නඩුව සම්බන්ධව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ලබාදුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාග කිරීම ලබන සදුදා(10) දක්වා කල් තබා තිබේ.

සිද්ධියට අදාල නඩුව අද(07) අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි. නමුත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය ලබාදී ඇත්තේ බරපතල ආර්ථික චෝදනා සහ මූල්‍ය අපරාධ ආදී කරුණු සඳහා නඩු විභාග කිරීමට බවත් ඉහත සිදුවීමට අදාල නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. ඒ අනුව තම නීතීඥවරු විරෝධතාවක් මතු කළ ද එම විරෝධතාව නොතකා විශේෂ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇති බවත් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබූවද එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here