ජපානයේ රතු තරුව | දිනමිණ

0
55


‘දරා ගන්න බැරි පීඩනය නිසා මම හිතුවේ මගේ හුස්ම ටික යාවි කියලයි.‍’ එසේ කීවේ ලෝක රග්බි තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමක් වන සැමෝවා පිල හමුවේ ඊයේ පෙරේදා පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් සිය කණ්ඩායමට වාර්තා ගත ජයක් අත්කර දීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් ෆ්ලයි හාෆ් ක්‍රීඩක යූ ටමූරාය.

මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන ජපානයට වසර 24කට පසුව සැමෝවා පිල පරාජය කිරීමට දායකත්වය ලබා දුන් මේ 30 හැවිරිදි ක්‍රීඩකයා එසේ කීවේ තරගය නැරැඹීමට එදා කොබේ නගරයේ කොබේ මිසාකි ක්‍රීඩාංගණයට එක්රොක් වූ දහස් සංඛ්‍යාත ජපාන ක්‍රීඩාලෝලීන් හමුවේ ඇතිවූ පීඩනය සිහිපත් කරමිනි..

සගයන් විසින් තබනු ලබන උත්සාහක දිනුම් පමණක් නොව ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව නිසා විනිසුරු ලබා දෙන දඬුවම් පහරේ අවස්ථාවත් නිවැරැදිව ගෝල් කණුව අතරින් රිංගා යැවීමේ වගකීම දරන්නේ ටමූරාය.

සගයන්ගේ උත්සාහක දිනුමේ වටිනාකම එය ගෝලයක් බවට පත්කිරීමෙන් දෙගුණ කිරීමේ වගකීම ඉටු කිරීමට නොහැකිවූවා නම් ක්‍රීඩාලෝලීන්ගේ පමණක් නොව සගයන්ගේ පවා උදහසට ලක්වීමට එය හොඳටම ප්‍රමාණවත් බව ඔහු දැන සිටියේය.

එහෙත් එදා තරගයේ 75වැනි මිනිත්තුවේදි කෙන්කි ෆුකෝවා තැබූ උත්සාහක දිනුම හැරෙන්නට වාර්තා වූ සෙසු උත්සාහක දිනුම් 3ම ගෝල බවට පත් කළ ටමූරා දඬුවම් පහර 4කුත් සාර්ථකව ගෝල් කණුව අතරින් යවමින් සිය කණ්ඩායම එදා රැස් කළ ලකුණු 38න් 18කටම හිමිකම් කීමට සමත්විය.

ඒ අනුව පිට පිට තුන්වැනි ජයග්‍රහණයත් ලැබූ ජපානය ‘ඒ‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර එතෙක් මෙතෙක් ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ එළිපත්තට පැමිණ සිටියි.

ඔවුන්ට 2015 තරගමාලාවේදි එම අවස්ථාව ගිලිහී ගියේ අවසන් මොහොතේදිය. එවර දකුණු අප්‍රිකාව විස්මිත ලෙස ලකුණු 34-32කින් පරාජය කරමින් පෙරළිකාරයන් බවට පත්වූ ජපානයට එම අවස්ථාව ගිලිහී ගියේ ඊට දින හතරකට පසුව ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම නිසාය.

‘තරග දිනන්න දිනන්න පීඩනය වැඩිවෙනවා. ඒත් අර්ධ අවසන් පූර්ව වටයට නොගිහින් අපි ආපහු හැරිලා බලන්නෙවත් නෑ‍’ ඔහු දැන් එසේ කියයි.

සිය තුන්වැනි ලෝක කුසලාන තරගමාලාවට ක්‍රීඩා කරමින් සිටියත් ටමූරාට තවමත් පිටියට ගිය මොහොතේ දැනෙන්නේ විශාල චකිතයකි.

‘හැම තරගයක්ම ඒ වගේ. උත්සාහක දිනුමක වටිනාකම ඒ අයුරින්ම ලබා දෙන්න මම එය ගෝලයක් බවට පත් කළ යුතුමයි. ජයග්‍රහණය කියන්නේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළාම ලැබෙන අතිරේක ලකුණු 2කින් පවා වෙනස්විය හැකි දෙයක්.‍’ ටමූරා පවසයි.

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මේ දක්වා පැවැති තරග අතරින් වැඩිම දඬුවම් පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා ඔහුය. දඬුවම් පහර 10ක්ම සාර්ථකව එල්ල කරමින් ඔහු මේ වාර්තාව අතැතිව සිටින අතර උත්සාහක දිනුම් ගෝල බවට පත්කිරීමෙන් ලැබූ ලකුණුත් සමග ලකුණු 40ක් රැස් කර තරගමාලාවේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා බවට ද පත්වී සිටී.

‘මම එවැනි වාර්තා ගැනවත්, වැඩිම ලකුණුලාභියා නේද කියලවත් හිතන්නෙ නෑ. ඒක මගේ හිතට බාධාවක්.‍’

නොම්මර දහයේ ජර්සියත් පැලඳ ටමූරා පිටියට බසිද්දී ක්‍රීඩාංගණය පුරා රැව් පිළිරැව් දෙන ජපාන ක්‍රීඩාලෝලීන්ගේ ජය ඝෝෂාව ඔහු උත්සාහක දිනුමක් හෝ දඬුවම් පහරක් ගෝල් කණුව අතරින් පා කර යැවීමට කුරුමානම් අල්ලද්දී එහෙම පිටින්ම නතර වෙයි. කාගෙත් දෑස් යොමුවී ඇත්තේ ටමූරාගේ පා පහරින් පන්දුව ගෝල් කණුව අතරින් රිංගා යාදැයි සැක හැර දැන ගැනීමටය.

‘සැමෝවා තරගයෙන් පස්සේ අගමැතිතුමා (ශින්සෝ) අපේ විවේකාගාරයට ඇවිත් මට සුබ පැතුවා. ඒක මගේ ආත්ම ශක්තිය තවත් වැඩි වෙන්න හේතුවක් වුණා.‍’

යූ ටමූරා දැන් ජපානයේ රතු තරුව බවට පත්වී හමාරය. ජපානයේ රග්බි ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන සිහිවටනයක් මෙවර ලෝක කුසලාන තරගමාලාවේදි ලබාදීම ටමූරාගේ මෙන්ම සෙසු ක්‍රීඩකයන්ගේ ද එකම අරමුණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here