ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවයි

0
18


කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ හා ගොඩනැගිලි විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව පවතින නඩුවේ පළමු සාක්ෂිකාර ඉන්දීය ජාතික ව්‍යාපාරික කේ.නාගරාජා මහතාගෙන් අද(11) සාක්ෂි සටහන් කරගෙන තිබේ.

සිද්ධියට අදාල නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද විභාගයට ගෙන තිබිණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම සාක්ෂි කැඳවීම සිදුකර තිබූ අතර වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නඩු විභාගය හෙටට කල් තබා තිබේ.

2018 වසරේ මැයි මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාල කටයුතු ඉටුකර දීම වෙනුවෙන් පැමිණිලිකාර ඉන්දීය ව්‍යාපාරිකයාගෙන් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ය.

සිද්ධියට අදාලව චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසව විසින් අධි චෝදනා ගොනුකර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 46 දෙනෙකු නම්කර ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here