ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල දින කිහිපයකින් කල් යයි

0
42


ප්‍රින්ස් ගුණසේකර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානය වන ඉහළම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මේ මස 17වනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය දින කිහිපයකින් කල් දැමීමට සිදුව ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවත්වෙන මේ ක්‍රීඩා සම්මාන උළෙල ලබන මාසයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන බවද ඒ මහතා පැවැසීය.

“පොසොන් පොහොය ආසන්නයේම මේ සම්මාන උළෙල පැවැත්වීමට යෑම නිසා දින වෙන් කර ගැනීමේදී ගැටලුවක් මතුව තිබෙනවා. ඒ දින කිහිපයේම ජනාධිපතිතුමා හා අගමැතිතුමා විශාල කාර්ය බහුල තත්ත්වයකට පත් වෙනවා. ඒ බව සලකා අප සම්මාන ප්‍රදානය දින කිහිපයකට කල් දැම්මා. මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂයින්ට හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට ජාතික වශයෙන් පිරිනැමෙන එකම සම්මාන උළෙල මෙයයි. එය ඉතා වර්ණවත්ව හා ගාම්භීරව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත සංවිධානය වන මේ ක්‍රීඩා උළෙලේදී විවිධ අංශවල දස්කම් දැක්වූ 50කට අධික විශිෂ්ටයන් පිරිසකට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

තුන්වැනි වරටත් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා රත්න, ක්‍රීඩා භූෂණ හා ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ට සම්මාන ඇතුළත් වේ.

වසර 2017 ජනවාරී සිට වසර 2018 දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් ජනාධිපති සම්මාන පිරිනැමීමට තෝරාගෙන ඇති අතර ජනප්‍රියම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, ජනප්‍රියම නැගී එන යොවුන් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ඇගයීම ජංගම දුරකතන කෙටි පණිවිඩ (එස්. එම්. එස්) මගින් මෙවර සිදුකිරීම විශේෂත්වයකි. එම සෑම අංශයකටම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලත්කොට තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ විශිෂ්ටම සම්මානය ලෙස වසරේ ක්‍රීඩා විශිෂ්ටයා නම් කෙරෙන අතර දේශීය හෝ විදේශීය හොඳම ප්‍රතිඵල ලබාගත් කණ්ඩායමට වසරේ ක්‍රීඩා කණ්ඩායම් සම්මානය, සුවිශේෂී ප්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම ක්‍රීඩිකාව හා වසරේ දක්ෂතම ක්‍රීඩකයා, වසරේ දක්ෂතම පැරා ක්‍රීඩිකාව හා දක්ෂතම පැරා ක්‍රීඩකයා (ආබාධ සහිත) වසරේ කනිෂ්ඨ ක්‍රීඩා කණ්ඩායම, හොඳම කනිෂ්ඨ ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා ඇතුලු අංශ කිහිපයක් යටතේ සම්මාන ප්‍රදානය කෙරේ.

මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැති අතර ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීජා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල හා සම්මාන උළෙලේ කමිටු ප්‍රධානී සමන් අමරසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here