ජනාධිපතිවරණය : ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන අනුර කුමාර කී දේවල් ඇත්තද?

0
150


Image copyright
Anura Kumara Disanayake

කාන්තා සුභ සාධනය ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ප්‍රධාන මාතෘකාවක් වන අතර මෙවර ජනාධිපතිවරණයේදී ඊට වෙනදාටත් වඩා ප්‍රමුඛස්ථානයක් දී ඇති බව දක්නට ලැබේ.

කාන්තාවන් සහ සමාජ ක්‍රියාකාරිනියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දිනක පැවති ජන හමුවකදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක කාන්තාවන් මුහුණ පා ඇති ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ගැටලු පිළිබඳ අදහස් පළ කළේ දත්ත සහ සංඛ්‍යාලේඛන උපුටා දක්වමිනි.

පහත දැක්වෙන්නේ එකී දත්ත සහ සංඛ්‍යාලේඛන පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමකි.

ජනගහනය

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන් වුවත් තීන්දු තීරණ ගැනීමේදී, ඒවා ක්‍රියාත්මක කිරීමේදී සහ ඒ සඳහා දක්වන දායකත්වයේදී කාන්තාව විතැන් කර ඇතැයි අනුර කුමාර දිසානායක පවසයි.

“එතකොට සමාජයක් මෙහෙය වන්නේ පුරුෂයන් කේන්ද්‍ර කර ගෙනද?”

“රටක් වශයෙන් ගනු ලබන තීන්දු තීරණවලට කාන්තාවන් කොපමණ හවුල් වේද?”

“පෞද්ගලික අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තාවන් කී දෙනෙක් ඇතිද?”

“පුවත්පත්, මාධ්‍ය ආයතන මොනතරම් ප්‍රමාණයක කතෘවරියන් ඇතිද?”

“රාජ්‍ය ආයතනයක එහි ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන තැන හෝ එහි අධ්‍යක්ෂ මණ්ඩලයන් තුළ කාන්තාවන්ගේ කොපමණ නියෝජනයක් තිබේද?”

“ජවිපය ද ඇතුළුව දේශපාලන ව්‍යාපාර තුළ, පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය තුළ කාන්තා නියෝජනය කොපමණද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

කාන්තා නියෝජනය සහ වත්මන් පාර්ලිමේන්තුව

වත්මන් පාර්ලිමේන්තුවේ පුරුෂ සහ කාන්තා නියෝජනය

ප්‍රතිශතයක් වශයෙන්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සකස් වී තිබෙන්නේම ” පියා මිය යාමෙන්, ස්වාමි පුරුෂයා මිය යාමෙන්. හෝ පියාගේ අඩි පාරේ යාමෙන්,” යැයි අනුර කුමාර දිසානායක පවසයි.

  • කාන්තා නියෝජනය: “පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්”

“නමුත් ස්වාධීන කාන්තාවක් දේශපාලන තලයට කැඳවා නැහැ. දේශපාලනයට පිවිසීමට නොහැකි සමාජ බාධාවක් පවතිනවා” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.

වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ අනුපාතය 225 ට 12 කි. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් කාන්තාවන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කරගනු ලැබූ අතර ඉන් 11 දෙනෙකුම දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් පැවත එන කාන්තාවන්ය.

ඒ අතර සිටි ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහට සිය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෙසු දොළොස් දෙනා අතර සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ස්කන්ධරාජා මහ මැතිවරණයෙන් පරාජය වූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.

“මගේ පවුලේ කවුරුවත් අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරලා නෑ. මම මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. අනතුරුව පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වන ලෙසට ආරාධනා ලැබුණා.” යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

මාතෘ සිය දිවි නසා ගැනීම්

2018 වසර තුළ ශ්‍රී ලංකාවේ මාතෘ සිය දිවි නසා ගැනීම් 38 ක් සිදුව ඇතැයි ද අනුර කුමාර දිසානායක පැවසීය.

ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවලට අනුව එම අගය නිවැරදිය. නිල සමීක්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම මාතෘ සිය දිවි නසා ගැනීම් 25 – 30 අතර සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකම්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න පවසන පරිදි 2002 සහ 2018 අතර කාලය තුළ සිදුව ඇති මාතෘ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව 448 කි.

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ වළක්වා ගත නොහැකි ඇයි?

2018 වසරේ සිදුව ඇති සිය දිවි නසා ගැනීම්වලින් 38 න් 1/3 ට හේතු වී ඇත්තේ අනවශ්‍ය ගැබ් ගැනීම් බවත් ඔහු පෙන්වා දෙයි.

“ඒ අයට වෙන විකල්පයක් නැහැනේ. අපේ රටේ අවිවාහක කාන්තාවක් ලිංගිකව එක් වෙලා ගැබ් ගත් පසු තිබෙන විකල්පය කුමක්ද? රටේ නීතියට අනුව දරු ගැබ ඉවත් කර ගන්නත් බැහැ. සමාජය ඒ දිහා බලන විදිහ අනුව තිබෙන එකම විකල්පය මොකක්ද? සිය දිවි නසා ගැනීම.”

දරු ප්‍රසුතිය ආසන්නයේදී මව්වරුන් කොපමණ සංඛ්‍යාවක් මානසික සංකූලතා හේතුවෙන් පීඩා විඳින්නේ දැයි කීමට දත්ත නොමැති බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න පෙන්වා දෙයි.

අස්වාභාවික මරණ

ඥාතීන් ප්‍රකාශ කරන පරිදි මරණයට (ඝාතන සහ සියදිවි නසා ගැනීමට) හේතුව

ශ්‍රී ලංකාවේ අස්වාභාවික කාන්තා මරණවලින් 36% ස්වාමි පුරුෂයා හෝ සමීපතම සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලැබීම හේතුවෙන් සිදු වෙතැයි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) 2018 වසරේ පෙබරවාරි මස නිකුත් කරන ලද ජනගහන සංකථන වාර්තාවට අනුව ඉහත සඳහන් ප්‍රතිශතය නිවැරදිය.

ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමරුම්වලින් 36% සිදු කරනු ලැබ ඇත්තේ සැමියා/පෙම්වතා/ හිටපු පෙම්වතා විසින් යැයි එහි සඳහන් වේ. ලේ ඥාතීන් විසින් සිදු කරනු ලැබ ඇති මිනීමැරුම් ප්‍රතිශතයක් වශයෙන් 21% කි.

ගබ්සාව

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාරාන්තික උපත් අබාධයක් සහිත දරුවෙකු බිහි කළ මවකගේ වේදනාව

2016 වසරේදී ශ්‍රී ලංකාව තුළ ගබ්සා කිරීම් 240,170 ක් සිදුව ඇතැයි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. ඒ අනුව ආසන්න වශයෙන් දිනකට ගබ්සා 638 ක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා යොමු වන 90% වැඩි පිරිසක් විවාහක කාන්තාවන් වන බව ද අනුර කුමාර දිසානායක පැවසීය.

ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය වෙනස් විය යුතු බව ප්‍රසිද්ධියේ කියා සිටි පළමු ජනාධිපති ධුර අපේක්ෂකයා සහ පක්ෂ නායකයා ලෙස අනුර කුමාර දිසානායක හැඳින්විය හැක.

“කවර හෝ කලලයක් විනාශ කිරීම පිළිබඳ කිසිවකුත් එකඟ වන්නේ නැහැ . හැබැයි එකඟ වෙන්න බැරි වුණාට ඒ තීරණය ගත යුත්තේ කවුද? ඒ දරු කළලය ගැන තීරණය ගැනීමේ අයිතිය තිබෙන්නේ ඒ දරු ගැබ දරා සිටින කාන්තාවට කියා අප විශ්වාස කරනවා. ඒ ඇයගේ අයිතිය කියලා අප විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

  • “මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි”

ශ්‍රී ලංකාව තුළගබ්සාව නීති විරෝධී බැවින් කාන්තාවන් කොපමණ සංඛ්‍යාවක් ඒ වෙත යොමු වේ දැයි නිශ්චිතවම කිව නොහැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න පවසයි.

තවමත් ඒ සඳහා යොදා ගනු ලබන්නේ 90 දශකයේ සමීක්ෂණ වාර්තා බව ඔහු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි ගර්භනී භාවයෙන් මිදීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන්ම භාවිත කෙරෙන්නේ පෙති වර්ගයකි. එබැවින් ඒ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන ලබා ගැනීම අපහසුය.

මේ අතර සාපේක්ෂ වශයෙන් වසර 35 පමණ ඉක්මවූ ඇතැම් කාන්තාවන් තවමත් විවිධ උපකරණ භාවිත කර අනාරක්ෂිතව සිදු කෙරෙන ගබ්සා වෙත යොමු වන බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාව තුළ පවුල් සැලසුම් සඳහා යොමු වන පිරිස ප්‍රතිශතයක් වශයෙන් 60% – 70% ත් අතර අගයක් ගන්නා බව සංඛ්‍යාලේඛනවල සඳහන් වුවත් එය නිවැරදි නොවන බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ වසරකට ගැබ් ගැනීම් 360,000 ක් වාර්තා වන බවත් ඉන් 1/3 ක් සැලසුම් නොකළ ගර්භනී භාවයන් (Unplanned) බවත් පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න පවසයි.

එම 1/3 න් බහුතරය සැලසුම් නොකළ ගැබ් ගැනීම, අවශ්‍යව සිටි ගැබ් ගැනීමක් යැයි සිතා කටයුතු කරන බවත් සුළු ප්‍රතිශතයක් ගබ්සා වෙත යොමු වන බවත් ඔහු පෙන්වා දෙයි.

පොදු ප්‍රවාහනයේ ලිංගික අඩන්තේට්ටම්

පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසන සිදුවන ආකාර

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ගෙන් 90% කවර ආකාරයේ හෝ ලිංගික අඩන්තේට්ටමකට මුහුණ දෙන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සිදු කළ සමීක්ෂණයකට අනුව මගී බස් රථ හෝ දුම්රියේ ගමන් ගත් කාන්තාවන් 2,500 දෙනෙකුගෙන් 90% ක් ජීවිතයේ එක් වරක් හෝ ලිංගික හිංසනයකට මුහුණ දී ඇත.

  • “කාන්තාවන්ගෙන් 90% කට ලිංගික අතවර”

ඉහත කී පිරිසෙන් 70% කවර හෝ ශාරීරික ලිංගික හිංසනයකට මුහුණ දෙන බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සිදු කළ සමීක්ෂණ වාර්තාවට අනුව ‘සිතා මතාම ශරීරයේ කුමන හෝ කොටසක් ඇල්ලීමට” ලක්ව ඇති ප්‍රතිශතය 73.52% කි.

“වැන්දඹුවන්ගෙන් පිරිණු රාජ්‍යයක්”

ශ්‍රී ලංකාව “වැන්දඹුවන්ගෙන් පිරිණු රාජ්‍යයක්” ලෙස හැඳින්වූ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක උතුරු පළාතේ යුද වැන්දඹුවන් 45,000 ක් සිටින බව පැවසීය. එසේම “යුද්ධයට ගිය දකුණේ හමුදා සාමාජිකයන්ගේ වැන්දඹුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා” යනුවෙන් ද ඔහු එහිදී සඳහන් කළේය.

උතුරේ

ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති සිවිල් යුද්ධයෙන් වැන්දඹු භාවයට පත් උතුරේ කාන්තාවන් පිළිබඳ අඩු වැඩි වශයෙන් විවිධ වාර්තා පළ වී ඇතත් ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ පිළිගත් ජාත්‍යන්තර සංවිධානයක් ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිල සමීක්ෂණයක් සිදු කර නොමැත.

උතුරු පළාතේ යුද වැන්දඹුවන් 45,000 ක් සිටින බව ඇතැම් පුවත් වාර්තාවල සඳහන් වී ඇතත් මුලාශ්‍ර උපුටා දක්වා නොමැත.

මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “මා දන්නා තරමින් රජය පිළිගත් හෝ වෙනත් සංවිධානයක් නිල වශයෙන් ප්‍රකාශ කළ සංඛ්‍යාලේඛනයක් නැහැ.” යනුවෙනි.

  • ජීවිතයෙන් බැට කන උතුරේ යුද වැන්දඹුවන්

ඒ සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යාලේඛණ පළ වී ඇති බව පවසන ඔහු “රදගුරු රායප්පු ජෝශප් උගත් පාඩම් කොමිසමට දුන්නු වාර්තාවේ ඔහු කිව්වේ යුද මුක්ත කලාපයට ඇතුළු වුණු අයත් පිටවූ අයත් අතර වෙනස එක්ලක්ෂ හතලිස් හත්දහසකට ආසන්න සංඛ්‍යාවක් බවයි. ඒ ගැන ආණ්ඩුව කිසි දවසක ප්‍රකාශයක් කළෙත් නැහැ, ඒක වර්ගීකරණයක් කළෙත් නැහැ.” යනුවෙනි.

“අඩුම තරමේ මෙය සිදු විය යුත්තේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හරහා. ඒ සඳහාම වෙන් වුණු නිල කාර්යාලයකට තිබෙන්නේ එය පමණයි. නමුත් එහි පවතින මන්දගාමීත්වය නිසා නිල සංඛ්‍යාලේඛන ලබා දීමට තව කෙතරම් කාලයක් ගත වේදැයි කියන්න බැහැ.”

කෙසේ නමුත් යුද්ධයේ බරපතල භාවය දෙස බැලීමේදී උතුරු පළාතේ යුද වැන්දඹුවන් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව ඔහු කියා සිටියේය.

දකුණේ

යුද්ධය හේතුවෙන් මරණයට පත්/ අතුරුදහන් වූ විවාහක හමුදා සාමාජිකයන්

ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරිය විසින් 2011 වසරේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව යුද්ධය නිසා මිය ගිය හෝ අතුරුදහන් වූ විවාහක හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 9,681 කි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බටහිර පළාතෙන්ය.

“අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයෙන්” පීඩා විඳින්නේ ද කාන්තාවන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here