ජනාධිපතිවරණය: පොදු අපේක්ෂකයෝ සහ නව සන්ධාන “ජනතාව මුළා කිරීමක්”

0
167


2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එම වසරේ ම මැයි 01 දා, 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කළේය.

එම සංශෝධන ප්‍රකාරව යළි බලයට පත්වන ජනාධිපතිවරයෙකුට සීමා සහිත බලයක් හිමි වුණ ද රටේ ප්‍රධාන පක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය වෙනුවෙන් යුහුසුළු වන බවක් පෙනෙන්නට තිබේ.

මේ සියල්ල අතරේ ප්‍රබල ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන් ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙවර ජනාධිපතිවරණ සටනට තනිව මෙන් ම පොදු අපේක්ෂකයින් ලෙස ද ඉදිරිපත් වීමේ අරමුණකින් පසුවන ලකුණු පෙනෙන්නට තිබේ.

“ඇත්තට ම මේ ජනතාව රැවටීමක් රඟපෑමක්. ඔවුන් බලන්නේ තම තමන්ගේ පක්ෂ අභ්‍යන්තර බලය තහවුරු කර ගැනීම මිස වෙන දෙයක් නොවෙයි. රට මේ තරම් අරාජිකත්වයකට පත් වන්න ප්‍රධාන හේතුව ඒකයි. යහපත් දේශපාලන සංස්කෘතියක් තියෙන රටකට අවශ්‍ය බුද්ධිමත් නායකත්වයක් සහ ජාතික ප්‍රතිපත්ති. සන්ධාන හෝ පොදු අපේක්ෂකයෝ මත යැපෙනවා කියන්නේ එතන තිබෙන්නේ දේශපාලනික ස්ථාවරභාවයක් නොමැති රික්තයක්. රටේ ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද. ඔවුන් ඉදිරියේ අද තිබෙන්නේ නායකත්වයක් නිර්මාණය කර ගැනීමේ නොහැකියාවක්,” පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ අංශාධිපතිනී ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට කළ පැහැදිලි කිරීමයි ඒ.

Image copyright
facebook

Image caption

ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

ජනතාව කළ යුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයෙකු පසුපස දිවීම පසෙක ලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහි කර ගැනීම බව ඇයගේ අදහස වී තිබේ.

“විධායක බලතල අඩු කළා කියන දේ විනා තිබුණේ මොන බලතල ද කියලවත් ජනතාව දන්නේ නෑ. නව ජනාධිපතිවරයාට නොවෙයි මීළඟට වැඩි බලතල හිමි වන්නේ. අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට. මේ සත්‍ය ස්වරූපය ජනතාව හමුවේ වසන් කිරීම ප්‍රධාන පක්ෂ කරන විශාල වරදක්. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල වගකීම ඇත්ත තත්ත්වය ජනතාවට අවබෝධ කර දීම,” ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසන්නීය.

දේශපාලන විශ්ලේෂකයින් මෙලෙස පැහැදිලි කරන පසුබිමක දැනටමත් සන්ධාන සාකච්ඡා සඳහා අවතීර්ණව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන්නතම දෙකඩ වීම

ඉකුත් ජනාධිපතිවරණයේදී එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව පොදු අපේක්ෂකයෙකු ලෙස හංසයා ලකුණින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

අනතුරුව පැවති මහ මැතිවරණයෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වටා ඒකරාශී වෙමින් ඒකාබද්ධ විපක්ෂය ලෙස තම පාර්ශ්වය හඳුන්වා ගන්නා ලදී.

එලෙස මහින්ද – මෛත්‍රී පාර්ශව දෙකකට බෙදෙමින් කලක් දේශපාලන පොරපිටියේ හැසිරුණු එක ම පක්ෂයක නියෝජිතයින් 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේදී ද දෙපිල බෙදී තරග කළ අතර එහි ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසු විය.

ඊට පසුව අවස්ථා කිහිපයකදී මෛත්‍රී – මහින්ද සන්ධානගත කිරීමට දෙපාර්ශවයේ නියෝජිතයින් පිඹුරු පත් සකස් කළ අතර 2018 වසරේ ඔක්තෝබර් 26 වන දින වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් පහකර තම ජනපති සටනේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ යළි අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රී ගත් තීරණය දේශපාලන වේදිකාව උණුසුම් කිරීමට හේතු විය.

එහිදී ඇතැම් පාක්ෂිකයින් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුනරාගමනය ලෙස අර්ථ දැක්වූව ද ජනාධිපතිවරයාගේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීම හමුවේ දෙපාර්ශවය යළිත් පිල් දෙකක සිට කටයුතු කළහ.

අත සහ පොහොට්ටුව අතර සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට තම ඉදිරි සන්ධානගත වීම සම්බන්ධයෙන් සාකච්ඡා වට හයක් පවත්වා ප්‍රතිපත්තිමය කරුණු විසිපහකට එකඟතාවකින් පසුවන බව පවසයි.

එම සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරට බීබීසී සිංහල සේවය ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.

Image copyright
FACEBOOK

Image caption

පා.ම. මහින්ද අමරවීර

ප්‍රශ්ය – පවතින පක්ෂ අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බැරි නිසාසන්ධානගත වන්නේ?

“ඔව් ඉතාමත් පැහැදිලියි තනිව ම තරග කළොත් වාසිය එජාපයට යනවා. ඔව් ඒකයි අපි තීරණය කළේ එකතු වෙන්න.”

ප්‍රශ්ය – නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්න කියා. මේ සාකච්ඡා සිදුවන්නේත් එම එකඟතාව මතද?

“තව ම ජනාධිපතිතුමා ඊට ප්‍රතිචාර දැක්වීමක් කළේ නෑ. ඒ පැත්තෙනුත් අපේක්ෂකයෙක් නම් කරලා තිබෙනවා. නමුත් තවමත් එකඟතාවක් නෑ. දෙදෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන නෑනේ.”

ප්‍රශ්ය – ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යෝජනා කළොත් නිදහස් පක්ෂය එකඟද?

“එහෙම නිල ප්‍රකාශයක් කළොත් අපි ඒ ගැන සලකා බලනවා.”

ප්‍රශ්ය – සන්ධානගතවීමකින් තෝරා ගැනෙන නායකයා සම්බන්ධයෙන් මහජනයා තුළ විශ්වාසයක් පවතීද?

“පසුගිය කාලය තුළ මේ රට සංවර්ධනය කරන්න කිසි ම නායකයෙකුට නොහැකි වෙලා තිබෙනවා. එය සැලකිල්ලට අරන් වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරන්න තමයි අපි උත්සහ කරන්නේ. පුද්ගලයෝ ජයග්‍රහණය කිරීමට අරමුණක් නෑ.”

ප්‍රශ්ය – නොහැකියාව කියන දෙය මෛත්‍රීපාල සිරිසේන පාලනයත් අදාළයි කියා සිතනවද?

“මමත් වැරදිකාරයෙක් කියන තැන ඉඳල තමයි මම මේක කියන්නේ.”

ප්‍රශ්නය – මේ දීගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුත් එකඟ නෑ. මේ තත්ත්වය හමුවේ ප්‍රතිවාදීන්ට අභියෝගයක් දෙන්න පුළුවන් ද?

“පොදුජන පෙරමුණ සන්ධානගත වීමට උනන්දුවක් නැත්නම්, අපි තීරණය කළා ජනතා විමුක්ති පෙරමුණ, චම්පික රණවක වගේ ම එජාපයෙන් ඉවත් වූ පිරිස් සමග සන්ධානගත වීමේ හැකියාව සොයා බලන්න.”

පොහොට්ටුවේ වත්මන් ප්‍රතිචාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවැනි අදහසකින් පසුවෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද විමසා බැලිය යුතුය.

එම පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය.

Image copyright
FACEBOOK

Image caption

පා. ම. ඩලස් අලහප්පෙරුම

ප්‍රශ්නය – ජනාධිපතිවරණය හුවා දක්වමින් පක්ෂය යළි එකතුකර ගැනීමේ උත්සාහයකද නිරතවන්නේ ?

“ඔව් පිළිගන්නවා එහෙම උත්සහයක් නැත්තේ නෑ. නමුත් අපි නොනිල සන්ධානයක හිටිය නේ. මේකේ ප්‍රධාන අරමුණ ආණ්ඩු විරෝධී බලමුළුව ශක්තිමත් කිරීම”

ප්‍රශ්නය – ජනාධිපති අපේක්ෂකයා ගැන මෙහිදී එකඟතාවක් ආවා ද?

කොහෙත් ම නෑ. වැරදි කතාවක් සමජගත වුණේ. අපි ඒ පිළිබඳ එකඟතාවකට එන්න ඕන සන්ධාන ව්‍යුහය සෑදීමෙන් පසුව.”

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රී නැවත තරග නොකරයි කියා සිතනවද? විශ්වාසයක් තිබෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මේ එක්වීම සාර්ථක වෙයි කියා?

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ මොහොතේ ක්‍රියාත්මක අතිබහුතරය සැබෑ එජාප විරෝධී කියල මම විශ්වාස කරනවා. තවත් පිරිසක් යටින් එජාපය සමග ගනුදෙනු කරනවා. අපි ධනාත්මකව බලාගෙන ඉන්නවා.”

ප්‍රශ්ය – මේ සාකච්ඡා අසාර්ථක වුවහොත් ජවිපෙ සමග හෝ එජාපයෙන් ඉවත්වූවන් සමග සන්ධානගතවනවා කියා මහින්ද අමරවීර කියනවා?

“අපි එදා ඉඳල හිටියේ එජාප විරෝධී කඳවුර ශක්තිමත් කරන්න. අපි ඔවුන් ආරක්ෂා කරන්න ගියේ නෑ. එහෙම ආරක්ෂා කළේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. එහෙම උණොත් ජනතාව තීරණය කරාවි කළ යුතු දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළුව එජාපය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කළා. මැතිවරණ සිතියම හකුලා දැමුවා. රට අරාජිකත්වයට රැගෙන ආවා. ඉතින් ජනතා පාර්ශවය නියෝජනය කළේ අප පමණයි. ඒ විශ්වාසය මහජනතාව තුළ පවතිනවා.”

පොදු අපේක්ෂකයා සහ සන්ධාන හමුවේ ජනතා ඡන්දය

කුමන සන්ධාන හෝ පොදු අපේක්ෂකයින් පැමිණිය ද ඉතිහාසයේ අත්දැකීම් අනුව මහ ජනතාව කලකිරීමට පත්ව සිටින බව ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසන්නීය. ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ පවතින දේශපාලන පක්ෂවලින් අනාගතයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් කෙරෙහි විශ්වාසයක් ජනතාව තුළ නැති බවය.

“එය ප්‍රජාතන්ත්‍රවාදය අතිදුර්වල තත්ත්වයට පත් වූ අවස්ථාවක් ලෙස අර්ථ ගන්වන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේත් එකමුතු කමක් නෑ. නායකත්වයට දෙවන පෙළක් නෑ. කොහෙන්වත් එන පොදු අපේක්ෂකයෝ, දේශපාලනික පරිණතභාවයක් නැති අහඹු අපේක්ෂකයෝ ජනප්‍රියත්වය මත තීරණය වෙන්නේ ඒකයි. ඊනියා සන්ධාන දේශපාලන ව්‍යාකුලතා ප්‍රතිඵල. ඒ නිසා මේක රටක දේශපාලනික අර්බුදයක් රටේ පක්ෂ ඔක්කොම දියරු වෙලා.” ආචාර්ය සුරියබණ්ඩාර පැහැදිලි කළාය.

මේ කරුණු හමුවේ ජනතාව පුද්ගල කේන්ද්‍රීය ජන්ද භාවිතයෙන් වැළකී සිටිය යුතු බව ඇය පැවසුවාය.

එමෙන් ම කුමන පුද්ගලයෙකු අනාගත ජනාධිපති ධුරයට පත්වුව ද රටකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මාලාවක් සම්මත කර පක්ෂ නියෝජනයෙන් මිදී එවැනි සාර්ථක වැඩපිළිවෙළක් රටට හදුන්වා දෙන අපේක්ෂකයෙක් වුව අනාගත ජනාධිපති ධූරයට සුදුසු බව ඇය පවසන්නීය.

කියවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here