ජනාධිපතිවරණය: “පරිසරය ගැන අපේක්ෂකයින්ට නිසි දැක්මක් නෑ”

0
227


Image copyright
Getty Images

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් පරිසරය සම්බන්ධයෙන් තම ප්‍රතිපත්ති සැකසීමේදී සංවේදී මාතෘකා මගහැර ඇති බවට පරසර වේදීහු චෝදනා කරති.

අන් කවරදාටත් වඩා පරිසර ආරක්ෂණය මෙවර ප්‍රතිපත්ති සැකසීමේදී වැදගත් කරුණක් බවට පත්විය යුතුව තිබුණේ දශක කිහිපයක සිට එය නොසලකාහැරීම තුළ රට අද වනවිට මතුව ඇති අසීරු තත්ත්වය නිසා බව ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

ඒ අනුව රට හමුවේ පවතින පරිසර අභියෝග ජයගැනීමේ ඵලදායී ක්‍රමවේද සම්බන්ධයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගෙන් යමක් බලාපොරොත්තු වූ නමුත් ඊට සාධනීය පිළිතුරු ඉදිරිපත්ව නැති බව ඔවුහු පවසති.

දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ පවතින පාරිසරික ගැටලු කිහිපයක් ඉතා දරුණු අතට පත්ව ඇති බව පෙන්වා දෙන ඔවුන් එය මෙලෙස වර්ගීකරණය කර දක්වයි.

  • අලි මිනිස් ගැටුම
  • කසළ මෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
  • වන විනාශය
  • වායු දුෂණය
  • වන සත්ත්ව ජාවාරම
  • කෘමි නාශක භාවිතය
  • සාගර පද්ධතිය ආශ්‍රිත දුෂණය

Image copyright
Nuwan bopage /facebook

කසළ කළමනාකරණය ශ්‍රී ලංකාව තුළ උග්‍ර ගැටලුවක් බවට පත්වීම කෙතරම්ද යත් බලයේ සිටි කිසිදු රජයකට මෙතෙක් ඒ සම්බන්ධ නිසි විසඳුමක් ලබාදීමට හැකියාවක් ලැබී නැති බව පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙයි.

බොහෝ දියුණු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවටත් වඩා ආර්ථික අතින් පසුගාමී ස්වභාවයක සිට වර්තමානයේ කළාපීය වශයෙන් දියුණු තත්ත්වයකට පැමිණි රටවල් මේ වෙනුවෙන් තිරසර විසඳුම් වලට එළඹ සිටින වකවානුවක කසළ කඳු කඩාවැටී මිනිස් ජීවිත විනාශවීමේ තත්ත්වයට පත්වන තෙක් පැවති රජයන්ට විසඳුම් නොතිබූ බව ඔහු පෙන්වා දෙයි.

“කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ලෝකේ පාවිච්චිකරන විද්‍යාත්මක ක්‍රමවේදයක් පිලිබඳ එක ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් සඳහනක් නෑ. මේ පිළිබඳව නිසි වැටහීමක් නැති පිරිස් එක්ව මේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිර්මාණය කර ඇති බවයි ඉන් පැහැදිලි වන්නේ. මොකද අපි දන්නවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිර්මාණය කරන්නේ බොහෝවිට අපේක්ෂකයාට සහය දක්වන විද්වතුන්. ඔවුන්ගේ දැනුමේ ස්වභාවය අනුව මේ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත්තේ යල් පැනගිය විසඳුම්”

පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේ කසළ කළමනාකරණය පිළිබඳව බලධාරීන් කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් ජනතාව වෙත පැවරෙන වගකීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කල යුතු බවය.

“දැන් මේ කසළ ජීවිකාවක් කරගත් පුද්ගලයින් සිටින එක රහසක් නොවෙයි. ඇත්තටම මේක ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඉන්න පිරිස් ඉන්නවා. මේ ගැටලුවට පිළියම් දෙනකොට සුන්දර වචන යෙදීම පමණක් ප්‍රමාණවත් නැහැ. මේ හා සම්බන්ධ රේඛීය නොවන කරුණු අධ්‍යනය කිරීමක් කළ යුතුයි. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තම ප්‍රයෝගිකව ඉටුකිරීමට නොහැකි උනත් මහජන ආකර්ෂණය වෙනුවෙන් හරි සුන්දර වදන් යොදනවනේ. අවාසනාව කියන්නේ එහෙම වත් සඳහනක් මේ කිසි එකක නැහැ.

ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන සැකයි

වසර 30 ට අසන්න කාලයක් විවිධ දේශපාලන පක්ෂ මැතිවරණ සමය තුළ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන තමා දැක ඇතිමුත් ඔවුන් බලයට පත්වූ පසු පරිසරය සම්බන්ධයෙන් හෝ ඊට අනුශාංගික මාතෘකා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

ඒ අනුව මෙවරද ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ආකර්ශනීය කරුණු අන්තර්ගතව ඇතිමුත් ඒවා මහජනතාව රැවටීමට පමණක් භාවිත කර ඇතිද යන සැකය මතුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

“දැන් මේ ප්‍රතිපත්ති තුළ මතුපිටින් ඇති සමහර ගැටලු අවධානයට ගෙන තිබෙනවා නමුත් රට හමුවේ ඇති සංවේදී ගැටලු මාතෘකා කරගෙන නැහැ. උදාහරණයක් ලෙස රටේ ජෛව විවිධත්වයට සිදුවන බලපෑම. විශේෂයෙන්ම අපේ රටට අනන්‍ය ජාන සම්පත් තිබෙනවා. මේවා ආරක්ෂා කිරීමට විධිමත් සැළසුම් මේ එකකවත් නැහැ. පොඩි පොඩි කරුණු …උදාහරණයක් විදිහට වඳ වෙලා යන ජීවින් ආරක්ෂා කරනවා වගේ තොරතුරු පමණයි අඩංගු කර තිබෙන්නේ.” පරිසරවේදී ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

අඩු දැනුවත්කමක් ඇති පක්ෂ නියෝජිතයින්

ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාව භාර ගන්නා පුද්ගලයා පරිසරය කෙරෙහි කොතෙක් නැඹුරු විය යුතුද යන්න පැහැදිලි කිරීමට පරිසරවේදීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කතිකාවක් පැවැත්විණ.

එහිදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබුණේ අලි මිනිස් ගැටලුව වැනි ඛේදනීය තත්ත්වයන් මෙන්ම වර්තමානයේ කඳුකරය ආශ්‍රිතව වර්ධනය වන කොටි මිනිස් ගැටලුව පිළිබඳවය.

මේ සඳහා රටේ දේශපාලන පක්ෂ ඉදිරියේදී කටයුතු කරන ආකාරය අඩංගු යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතර ඊට අදාළව පරිසරවේදීන් විසින් ද කරුණු පැහැදිලි කරනු ලැබීම මේ කතිකාව තුළ ප්‍රධාන වශයෙන් සිදුවිය.

පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේ ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයින් මේ අර්බුදවලට ඉදිරිපත් කළ විසඳුම් යෝජනා තුළින්ම මේ ගැටලු සම්බන්ධයෙන් නිසි දැනුවත්කමකින් කටයුතු නොකරන බව පැහැදිළි වූ බවය.

” මේ සාකච්ඡාවේදී එක්තරා ප්‍රධාන පක්ෂයක නියෝජිතයෙක් අලි මිනිස් ගැටුමට දීපු උත්තරය සිනහ දනවන සුලුයි. ඔහු කිව්වා අලි ටික අල්ලලා එක තැනකට කොටු කරලා කොමඩු වවනවා කියලා ඒක ඇතුලේ අලින්ට කන්න. මේ වගේ බොළඳ යෝජනා.”

තවත් පක්ෂයක නියෝජිතයෙකුද එවැනිම දෙයක් පැවසූ බව ඔහු කීවේ, “කඳුකරයේ කොටි මිනිස් ගැටලුව විස්තර කරන්න ගත්තේ , කොටියෙකුගේ රූපය පෙන්නලා ව්‍යග්‍රයෙක් ලෙස හඳුන්වමින්. ඉතින් මෙවැනි අය තමයි මේ අපේක්ෂකයින්ගේ දේශපාලන නියෝජිතයෝ විදිහට එදා පැමිණ සිටියේ. කොහොමද මේ පිරිස එක්ක පරිසර ප්‍රශ්ණ විසඳන්නේ. අපි හරිම අසීරු අඩියක ඉන්නේ. ” යැයි පෙන්වා දෙමිනි.

අපෙනුත් අදහස් ගත්තා. අඩංගු කර නැහැ

Image copyright
Reuters

දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නිම කිරීමට පෙර පරිසර සංවේදී මාතෘකා සම්බන්ධයෙන් යම් විමසීමක් කලාදැයි බීබීසී සිංහල සේවය මෙම පරිසරවේදීන්ගෙන් විමසීය.

එහිදී ඔවුන් පැවසුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මගින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීම් කළ බවකි.

මුල් අවස්ථාවේ සිය ඇතැම් අදහස් ඊට අඩංගු වුවද අවසන් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒවා ගිලිහී ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

“දේශපාලන පක්ෂ වලින් කතා කළා, ඇතැම් අය මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීමේ අවස්ථාවන්ට ආරාධනය කළා. නමුත් අපිට දේශපාලන විමසීමක් නැහැ. අපිට අවශ්‍ය නෑ එය කුමන තත්ත්වයක පැවතියත් පක්ෂයක අතකොලු බවට පත් වන්න.” පරිසරවේදී ජගත් ගුණවර්ධන පැවසීය.

අංශ රැසක් අමතක කර තිබෙනවා

බලධාරීන් දැනට පවතින පාරිසරික ගැටලු කෙරෙහි යල් පැන ගිය විසඳුම් සොයන අතරවාරයේ මෑතකාලීනව ගැටලු බවට පත්ව ඇති ජාන මංකොල්ලය, වන සත්ත්ව ජාවාරම මෙන්ම නාගයින් වැනි විෂ ඝෝර සර්ප දෂ්ටනය නිසා වාර්ෂිකව මිය යන සංඛ්‍යාව පාලනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර නැතැයි ද පරිසර වේදීහු පවසති.

ඉකුත් වසර කිහිපයේ ජාන මංකොල්ලය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අවස්ථා කිහිපයකදී රටට ආවේනික ඉබ්බන්, මුහුදු ජීවින් මෙන්ම කෘමි සතුන් විදෙස් රටවලට රැගෙන යාමට උත්සාහ දැරූ අවස්ථා පිළිබද වාර්තා විණි.

ඊට වරදකරුවන් වූ පුද්ගලයින්ට ලබාදෙන දඬුවම් ලිහිල් භාවයකින් යුක්තවන අතර රටේ වන විනාශය සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවලක් නොමැති බවට මේ පරිසරවේදීහු චෝදනා කරති.

“දැන් වායු දූෂණය සම්බන්ධයෙන් ඉකුත් වසර කිහිපයේ ලොකු හඬක් නැගුවා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එවැනි දෙකට තිරසර විසඳුමක් නැහැ. වන විනාශය, කෘමි නාශක භාවිතය වගේ දේට නිවැරදි විසඳුම් නැහැ. ඉතින් මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් රටට වැඩක් වෙයි කියා සිතන්න බෑ” නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

කියවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here