ජනාධිපතිවරණයට “මමත් සුදානම්” – හිස්බුල්ලා

0
204


Image copyright
fb

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පවසයි.

“අපේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප්‍රශ්න විසඳාගන්න බලනවා” යැයි බීබීසී සිංහල සේවයට පැවසු ඔහු කියා සිටියේ “සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කෙරෙනවා” යනුවෙනි.

“සමහර විට ඒ මම වෙන්න පුළුවන්. බොහෝ අය ඉල්ලනවා මට තරග කරන්න කියලා.” යැයි ඔහු කියා සිටියේය.

මුස්ලිම් ජනතාවගේ ගැටලු වැඩිවෙලා:

“අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සහ කරනවා. අපි එයත් එක්ක අපේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නෑ.”

දැනට ආණ්ඩුව සමග කටයුතු කරන මුස්ලිම් අමාත්‍යවරුන් සමග මෙම කරුණ සාකච්ඡා කර තිබේ දැයි විමසු විට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පැවසුවේ ඔවුන් සමග ඒ ගැන මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය.

නමුත් මුස්ලිම් නායකයන්, ආගමික ප්‍රධානීන්, සිවිල් සමාජය සහ බුද්ධිමතුන් සමග ඒ ගැන කතා කළ බව ඔහු පැවසීය.

මුස්ලිම් ජනතාව මෙවැනි තීරණයක් ගැනීමට තීරණය කළේ ඇයිදැයි විමසු විට හිස්බුල්ලා පැවසුවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වැඩි වී ඇති බවය.

Image caption

මිනුවන්ගොඩ විනාශය

පාස්කු ඉරිදා ප්‍රහාර:

පසුගිය අප්‍රේල් 21 වෙනිදා කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර සහරාන් හෂීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් එල්ල කළ ප්‍රහාර වලින් 250කට අධික පිරිසක් මිය ගියහ.

එම සිදුවීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාර සහ වෙළෙඳාම් කටයුතු බිඳවැටෙමින් පවතින බවට ද මත පළවිය.

“අපේ මිනිස්සු ලොකු පීඩනයකට පත්වෙලා ඉන්නේ. නුවර, දිගන, කුරුණෑගල සිද්ධි වුණා.” ඒ පිළිබඳව සඳහන් කරමින් හිස්බුල්ලා පැවසීය.

  • ISIS සිතිවිල්ල “මුලින්ම රටට ආවේ අලුත්ගම සිදුවීමෙන් පසුව”

කෙසේවෙතත්, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පසුගියදා කැඳවන ලද නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා වෙතින්, 2015 වසරේදී පමණ ඔහු සහ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ මුලිකයා වූ සහරාන් හෂීම් අතර වූ හමුවීම් ගැන ප්‍රශ්න කෙරිණි.

එසේම නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශය ආශ්‍රිතව නාමපුවරු අරාබි අක්ෂරවලින් යෙදීම හා ප්‍රදේශය තුළ රට ඉඳි ගස් වැවීම සම්බන්ධයෙන් ද තේරීම් කාරක සභාව ඔහුගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර හිටපු ආණ්ඩුකාරවරයා තවදුරටත් මතභේදකාරී පුද්ගලයකු බවට පත්ව සිටින්නේ මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකෙරුණු පෞද්ගලික අධ්‍යාපන ආයතනය හේතුවෙනි. ‘ෂරියා විශ්වවිද්‍යාලයක්’ බවට එය යළි කතාබහට ලක් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වීමත් සමගය. අදාළ විශ්වවිද්‍යාලය හරහා “ෂරියා නීතිය” ඉගැන්වෙන බවටත් “අන්තවාදීන්” බිහි විය හැකි බවටත් චෝදනා නැගිණි.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ අදාළ විශ්ව විද්‍යාලය තුළ ඉස්ලාමීය අධ්‍යයනය සහ ෂරියා නමැති විෂය හැදෑරීමට අවස්ථාව ඇති අතරම එම ආයතනයේ අධ්‍යාපනය ලැබීම සෑම ජන කොටසකටම විවෘත බවකි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්:

2019 දෙසැම්බර් මාසයේ මුල් සතියේ හෝ ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල කාලය වසර පහකින් නිම වේ.

ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේ 2015 ජනවාරි 8 වෙනිදාය.

මේ වනවිට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තවමත් ඔවුන්ගේ තීරණ ප්‍රකාශයට පත්කර නොමැත.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පැවසුව ද පක්ෂයේ අවසාන නිගමනය කුමක් ද යන්න මෙතෙක් අපැහැදිලිය.

ඊට අමතරව නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත සහ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක වැන්නන්ගේ නම් ද ජනාධිපති ධුර අපේක්ෂකත්වයට සම්බන්ධ කෙරෙමින් විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවී තිබිණි.

දෙවැනි මනාපය:

එසේ වැඩි අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වුවහොත් කිසිදු අපේක්ෂකයෙක් හට වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 50% ලබා ගත නොහැකි වෙතැයි මත පළවේ.

එවැනි තත්ත්වයක් මතු වුවහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න මැතිවරණ කොමිසම සිය ෆේස්බුක් පිටුවේ මෙසේ පැහැදිලි කර ඇත.

ප්‍රශ්නය:-

ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?

පිළිතුර:-

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ. අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම්50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.

මේ පිළිබඳව උදාහරණ සහිතව මෙසේ පැහැදිලි කර ඇත.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකිය.

කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.

A= 40, B = 35, C= 15, D= 6, E= 4

මේ අනුව තරගය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරගයෙන් ඉවත් කෙරේ. පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.

එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.

C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම්

එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ.

2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ Bවෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.

දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.

• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.

• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

මේ තොරතුරුත් කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here