ජනවර්ගයකට සතිපොළ තහනම් කරමින් වෙන්නප්පුවේ සභාපති හනුමාට අඳියි

0
118


වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සතිපොළෙහි වෙළෙඳාම් කිරීම තහනම් කරමින් ඊයේ (25) නියෝගයක් නිකුත් කර තිබේ.

සතියේ සෑම සඳුදා දිනකම පැවැත්වෙන දංකොටුව සතිපොළේ දෛනික වෙළෙඳාම් කටයුතුවලින් මුස්ලිම් වෙළෙඳුන් පලවාහැරීමට පෙරේදා (24) නගරවාසීන් පිරිසක් කටයුතු කර ඇති අතර වහා එම ස්ථානයට පැමිණි දංකොටුව පොලිසියේ නිලධාරීන් ඊට මැදිහත්ව ඇති වන්නට ගිය ගැටුම සමථයකට පත්කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් දංකොටුව සතිපොළ භූමියට මුස්ලිම් ජනතාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව විරෝධතාකරුවන් පවසා ඇති අතර දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් එම පිරිසට පවසා ඇත්තේ ජාති, ආගම් හෝ පක්ෂ භේද මත සතිපොළේ වෙළෙඳාම් කිරීමේ අයිතිය අහිමි කිරීමට ඉඩදිය නොහැකි බවයි. එහිදී දංකොටුව පොලිසිය ගත් ආරක්ෂක පියවරට පිරිසක් බාධා කළ අතර, පොලිස් රාජකාරි කටයුතුවලට බධා නොකරන ලෙසත් මුස්ලිම් ජනතාවට මෙම සතිපොළේ වෙළඳාම් කිරීම තහනම් කළ ලිඛිත නියෝගයක් ඇත්නම් එය තමන් වෙත ලබා දෙන ලෙසත් පොලිසිය පවසා ඇත. ස්වල්ප මොහොතකින් එක් පිරිසක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතාගේ අත්සනින් යුත් ලිපියක් පොලිසියට බාර දී තිබේ.

රට තුළ පසුගිය කාලයේදී සිදු වූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් විවිධ ප්‍රදේශවල ගැටලු පැන නැඟුණු බවත් දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළෙඳ ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින බැවින් ප්‍රදේශවාසීන් හා වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාව හේතුවෙන් සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදුකිරීමට ඉඩ ඇති බැවින් මෙම තීන්දුව ගත් බව එහි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25) ‘රැස’ පුවත්පත වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. වී. සුසන්ත පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් වේ යැයි සිතා මෙම තීරණය ගත් බවයි.

“කාදිනල්වරයාත් මහනායක හිමියනුත් රටේ ආරක්ෂාව අරාජිකයි කියනවා. මේ තත්ත්වය තුළ තමයි මේ තීරණය ගත්තේ. මුස්ලිම් පුද්ගලයන්ට පොළේ වෙළෙඳාම් කරන්න දෙන්න එපා කියලා වෙළෙඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් පෙත්සම් දෙකක් ලැබුණා. ඒ නිසා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයන් 12 දෙනාට ජූලි දෙවැනි සතිය වනතුරු වෙළෙඳාම් කරන්න දෙන්න එපා කියලා පොලිසියට නියෝග කළා”යැයි සභාපතිවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ඒකාධිපති තීරණයක් ගැනීමට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“වෙන්නප්පුවේ පොළේ සියයට 99ක් ඉන්නේ සිංහල වෙළෙඳුන්. හදිසියෙවත් ප්‍රශ්නයක් වුණොත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වගකියන්න වෙන්නේ මට. ඒ නිසා ජූලි දෙවැනි සතියේ මහසභාව වෙනකම් මුස්ලිම් වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න දෙන්නේ නැහැ. මහසභාව පැවැත්වෙන දවසට බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයට සහ සිංහල, දෙමළ, මුස්ලිම් වෙළෙඳුන්ට එන්න කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. ඒ වෙනකම් මේ පුද්ගලයන්ට වෙළෙඳාම් කරන්න දෙන්නේ නැහැ.” සභාපතිවරයා පැවසීය.

තමන් සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙළාදකින බවයි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් පියංකර ප්‍රකාශ කළේ මෙය සභාවේ මතය නොවන බවයි.

“මේ වෙළෙදුන් අසරණයි. අපි කියන්නේ නැහැ මේ අයට පොළට එන්න දෙන්න එපා කියලා. නමුත් බහුතර වෙළෙඳ ප්‍රජාව ඉල්ලනවා මේ වෙළෙඳුන්ට එන්න දෙන්න එපා කියලා.”

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එහි පුත්තලම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නායකයකු වන ප්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙය පක්ෂයේ තීරණයක් නොවන බවයි. සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පුද්ගලික මතය බව ප්‍රකාශ කළ පියංකර ජයරත්න හිටපු ඇමතිවරයා මේ පිළිබදව පක්ෂය දැනුවත් කරන බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘රැස’ ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවයි.

මේ අතර, ඉහත තීරණය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ මස 28 වන දින මාරවිල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය නියෝග කර ඇති බව ‘රැස’ කළ විමසීමේදී දන්කොටුව පොලිස් ස්ථානාධිපති තිළිණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සභාපතිවරයාගේ ලිපිය පිළිබඳව දන්කොටුව පොලිසිය විසින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ.

නීති විරෝධී වැඩක්. නිවැරදි කරන්න යැ‍යි දැනුම් දුන්නා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් අධිනීතිඥ සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් අධිනීතිඥ සාගර කාරියවසම්

‍සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්න කියලා ඒ ප්‍රදේශයේ ජනතාව සහ පල්ලිවලින් බරපතළ ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ලබන සතිය වෙනකොට ඒක ඉවත් වෙනවා. සභාපතිවරයාගේ මේ තීරණය නීති විරෝධී බව අපි පක්ෂයක් විදිහට පිළිගන්නවා. ඒ වරද වහාම නිවැරදි කරන්න කියලා අපි සභාපතිවරයාට දැනුම් දුන්නා. කරුණු හොයද්දී දැනගන්නට ලැබුණේ දැඩි සමාජ බලපෑම මත සභාපතිවරයා ඒ අවස්ථාවේ ගත් තීරණයක් මිසක් දුර දිග බලලා ගත්ත තීරණයක් නොවන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ

මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක්. ජාතියක් මත කෙනකුගේ වෙළෙඳ අයිතිය තවත් කෙනකුට උල්ලංඝනය කරන්න බැහැ. එක අතකින් ගත්තම මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මුස්ලිම් ජාතිය තව තවත් කොන් කිරීමක් මේ අය විසින් නිර්මාණය කරමින් පවතිනවා. මේ නොමනා ක්‍රියා දීර්ඝ කාලීනවත් කෙටි කාලීනවත් රටේ සමගියට විශාල වශයෙන් හානිකරයි. ප්‍රාදේශීය සභාවේ කිසිම කෙනකුට බලයක් නැහැ කෙනකුගේ වෙළෙඳ අයිතිය උල්ලංඝනය කරන්න. එහෙම කරනවා නම් යෝජනා සම්මත කරලා නව නීති නිර්මාණය කරන්න වෙනවා. ඒ නිසා මේක තනිකරම නීති විරෝධී ක්‍රියාවක් විදිහට සලකන්න පුළුවන්.”

රටේ මූලික නීතිය අභිභවන්න සභාපතිට හැකියාවක් නැහැ.

පළාත් පාලන කොමසාරිස් – වයඹ පළාත් සභාව අයි. එම්. අයි. ඉලංගකෝන්

පළාත් පාලන කොමසාරිස් – වයඹ පළාත් සභාව අයි. එම්. අයි. ඉලංගකෝන්

මේ සිදුවීම ගැන මම දැනුවත් වුණේ දැන්. කොහොම වුණත් රටේ මූලික නීතිය අභිභවා කටයුතු කරන්න සභාපතිවරයාට හැකියාවක් නැහැ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට බලපාන යම් යම් නීති සකස් කර ගැනීමේ හැකියාව ප්‍රාදේශීය සභාවට තියෙනවා. ඒ විදිහට සභාවේ පොදු තීරණයක් විදිහට වුණත් ගන්න සියලුම තීරණ නිවැරදි වෙන්නේ නෑ. විශේෂයෙන් සභාපතිවරයාගේ තනි මතයට ගන්න මේ වගේ තීරණ බල රහිතයි. මේ පිළිබඳ මැදිහත්වීමේ හැකියාව අපිට තියෙනවා. මේ ගැන සොයා බලා වහාම කටයුතු කරන්න අපි සූදානම්. ප්‍රාදේශීය සභාවේ මහා සභාවේ තීරණයක් නම් අපිට එවන සභා වාර්තාවේ එය සඳහන් වෙන්න ඕනි. ඒත් මෙවැනි කාරණයක් ගැන මෙතෙක් වාර්තා වෙලා නැහැ.

මේ ව්‍යාපාරිකයන් ගැන ජනතාවට ගැටලුවක් නෑ

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකිනවා. අවුරුදු ගාණක් දංකොටුව සතිපොළේ මේ වෙළෙඳුන් වෙළෙදාම් කළා. මේ අය සියඹලා, ගොරකා වගේ සුළු දේවල් තමයි විකුණුවේ. මේ වෙළෙඳුන් පිළිබඳ ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක් නෑ. කිහිප දෙනෙක් තමයි මේ පිටුපස ඉන්නේ. සභාපතිවරයාත් ඒ කිහිපදෙනාට අහුවෙලා. ලබන මහ සභාවෙදි මේ පිළිබඳ විරෝධය පළකරමින් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකිනවා.

පොලිසිය ඉක්මන් පියවරක් ගැනීම ගැන සතුටුයි

ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු

ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු

පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙළා දකිනවා. පාස්කු දින ප්‍රහාරය මුල්කරගනිමින් මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්තනෝමතිකව මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට සිදුකරන බලපෑම සම්බන්ධව අපි අපේ මූලික විරෝධය ප්‍රකාශ කරනවා. මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ නොහැරීම අපේ වගකීමක්. මොකද මේක ජාතික සමඟියට විශාල බලපෑමක් එල්ල කරනවා. පොලිසිය මේ පිළිබඳ ඉක්මන් පියවරක් ගැනීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වගේම මේ පිළිබඳ ප්‍රදේශයේ ආගමික නායකයන්ගේද අවධානය යොමු විය යුතුයි.

ආරක්ෂක ප්‍රශ්නයක් නෙවෙයි, මේක ජාවාරමක්

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී ඇන්ටන් කුමාර

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී ඇන්ටන් කුමාර

වෙන්නප්පුවේ කඩ හිමි මුස්ලිම් ව්‍යාපාරිකයෝ 13 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් තුන් දෙනකුට විතරක් තමන්ටම හිමි ව්‍යාපාරික ස්ථාන තියෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ වෙන්නප්පුව ගොඩනැඟිලි හිමියන්ගේ සංගමය සහ වෙළෙඳ හිමියන්ගේ සංගමය, ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් යටතේ රැස්වීමක් පැවැත්වූවා. ඒ රැස්වීමේදී තීරණය කරලා තියෙනවා ඉතිරි මුස්ලිම් ව්‍යාපාරිකයන් දහ දෙනාගේ බදු ඔප්පු මාස තුනක් ඇතුළත අවලංගු කරන්න. මේ තීන්දුවට පහුගිය කාලේ ‘රැස’ පුවත්පතෙන් වෙන්නප්පුව සතිපොළ භූමියේ තියන බයිසිකල් නැවතුම්පොළෙන් කප්පම් ගත්තා යැයි හෙළි කරපු සුදත් ජානක පෙරේරා කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් සම්බන්ධයි.

මේ පසුබිමේම තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුස්ලිම් වෙළෙඳුන්ට දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම තහනම් කරලා තියෙන්නේ. සුදත් කියන මන්ත්‍රීවරයා මේ වෙද්දි වෙන්නප්පුව සතිපොළේ මුස්ලිම් වෙළෙන්දන් ව්‍යාපාර කළ සතිපොළ බිම් කොටස් වැඩි ගණන්වලට එයාට හිතවත් වෙනත් වෙළෙඳුන්ට දීලා. ප්‍රාදේශීය සභාවෙන් අය කරන ගාණට අමතරව පෞද්ගලිකව වැඩි ගාණක් අරගෙනයි මේවා දීලා තියෙන්නේ. මුස්ලිම් වෙළෙඳුන් නිසා ඇති වුණු ආරක්ෂක ප්‍රශ්නයක් නිසා මේ දේවල් සිද්ධ වෙන බව කියන්නේ බොරුවට. ඒ අයට වුවමනා වෙලා තියෙන්නේ ඒ බිම්කොටස් තමන්ට ඕන ගාණකට විකුණගන්න.

මේක කොහොමවත්ම ප්‍රාදේශීය සභාවේ, මහා සභා තීරණයක් හෝ ආපදා කළමනාකරණ හා පොදු පහසුකම් කාරක සභාවේ තීරණයක් නෙවෙයි; සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණයක්.

[දිනුක මලින්ද හේරත්] [නිර්මාණි බණ්ඩාරනායක] [සුනිල් ප්‍රනාන්දුපුල්ලේ] [ප්‍රසාද් පූර්ණමාල්] – රැස



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here