චේස් කොදෙව්වන්ට ජය ගෙනෙයි | දිනමිණ

0
78


රොස්ටන් චේස්ගේ දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තානය සමග ලක්නව්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව්වන්ට හැකිවිය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ මේ තරගාවලිය පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානයට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදෙමින් ඉනිම ලකුණු 194කට සීමාකළ කොදෙව් ක්‍රීඩකයෝ පන්දු 21ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. කොදෙව් පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 25ක් තුළ දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් වුවද ආරම්භක පිතිකරු ශායි හෝප් සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 163ක සබඳතාවක් ගොඩනැගීමට රොස්ටන් චේස් සමත් විය.

ජයග්‍රහණයට ලකුණු 7ක් පසුපසින් සිටියදී එම සබඳතාව නිමාවූයේ චෙස් දැවී යෑමෙනි. පන්දු 115කට මුහුණදුන් ඔහු හතරේ පහර 11ක් සමගින් ලකුණු 94ක් රැස් කළේය. හෝප් නොදැවී ලකුණු 77ක් රැස්කළේ පන්දු 133කදී හතරේ පහර 5ක් සමගිනි.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමට අර්ධ ශතක එක් කිරීමට රහම්ත් ෂා සහ ඉක්රාම් අලිකිල් සමත් වූහ. ෂා පන්දු 80කින් ලකුණු 61ක් සහ අලිකිල් පන්දු 62කින් ලකුණු 58ක් රැස්කළ අතර දෙදෙනාම හතරේ පහර 6ක් සහ හයේ පහරක් බැගින් තම ඉනිම්වලට එක්කර ගත්හ. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 111කි.

දෙපිල අතර දෙවැනි තරගය හෙට (9) ලක්නව් හිදීම පැවැත්වේ.

ඇෆ්ගනිස්තානය – 194යි. (ඕවර 45.2) රහ්මත් ෂා 61, ඉක්‍රම් අලිකිල් 58 (ජේසන් හෝල්ඩර් 21/2, රොස්ටන් චේස් 31/2, රොමාරියෝ ෂෙපර්ඩ් 32/2)

බටහිර ඉන්දීය කොදෙව් – 197/3යි. (ඕවර 46.3) රොස්ටන් චේස් 94, ශායි හෝප් 77 (මුජීබුර් රහ්මාන් 33/2)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here