ගෝඨාභයට එරෙහිව ඇවන්ගාඩ් නඩුව මාස දෙකකින් කල් යයි

0
46


2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ්  මැරිටයිම් සර්විස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පනවා ඇති නඩුව විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩු විභාගය සැප්තැම්බර් මස 20 වනදා දක්වා කල්තැබීමට කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) තීරනය කර තිබේ.

නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජනය වී වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාද අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර තම සේවාදායකයා විදේශ ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

යම් විත්තිකරුවෙකුට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට තිබෙන ඉඩකඩ අධිකරණය පිළිගන්නා නමුත් ඔවුන් මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීම අවශ්‍ය බව මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ  ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරුන් වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර භාරයට පත්කර ඇති බැවින් ඔවුන් දෙදෙනාද අද දින අධිකරණ හමුවේ පෙනී සිට නැත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here