ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ මෛත්‍රීට කෙසේ බලපාවි ද?

0
84


Image copyright
Getty Images

2020 ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට ප්‍රධාන පක්ෂ අතර දැඩි උනන්දුවක් දක්නට ලැබේ. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන කණ්ඩායම් අතරින් ජනාධිපති අපේක්ෂකයෙකු නිල වශයෙන් නම් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණි.

ඉරිදා (අගෝස්තු 11) පැවති පක්ෂ සම්මේලනයේදී එහි නායකත්වය භාර ගත් මහින්ද රාජපක්ෂ, සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කළේය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කෙසේ බලපායි ද?

ආසන්නතම මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලනිපය සිටි තැන

Image copyright
SLPP/Facebook

දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු වරට තරග කරනු ලැබුවේ, 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහාය.

එහිදී, 44.65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් එම පක්ෂයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ, (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය) 13.38%ක ඡන්ද ප්‍රතිශතයකි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම මැතිවරණයේදී හිමි වූයේ, තෙවන ස්ථානයයි.

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ විග්‍රහය

Image copyright
ISHARA S.KODIKARA

ස්වාධීන රූපවාහිනිය සමග ඉරිදා (අගෝස්තු 11) පැවති සංවාදයකට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග:

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයට පත් වෙලා තියෙන්නේ. ඡන්දෙන් විතරක් නෙවෙයි, මම අවුරුදු 17කට පස්සේ බලයට ගෙනල්ලා ශක්තිමත් කරපු මේ පක්ෂය, ඒ නිසා ම අවුරුදු 24ක් බලයේ තියාගත්ත පක්ෂය, අද ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මම කවදාවත් යන්නෙත් නෑ, වෙන පක්ෂයකට බැඳෙන්නෙත් නෑ.” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම පිළිබඳව ද හිටපු ජනාධිපතිනිය එහිදී අදහස් දැක්වීය.

“මම මිනිස්සු ගැන විග්‍රහයකට එන්නේ, වටහා ගන්නේ ඒ අය කියන වචන අනුව නෙවෙයි. කොයිතරම් ලස්සන වචන කිව්වත් කොයිතරම් ලස්සනට හිනා වුණත් මොක කෙරුවත් ඒ අයගේ ක්‍රියාවලිය දිහා බලන්න ඕනේ. එතුමාට වසර 9ක් සම්පූර්ණයෙන් අවස්ථාව ලැබුණා මේ රට හදන්න, එයාගේ අයියත් එක්ක. කරපු දේ බලපුවාම ඒ තුළින් රට හදයි කියලා කිසිසේත් ම හිතන්න බෑ. රට සම්පූර්ණයෙන් විනාශ මුඛයට යන්නේ.”

එස්.බී. දිසානායකගේ විග්‍රහය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග අනිවාර්යයෙන් ම එකතු විය යුතු බවය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග එකතු විය යුතුයි. ඔවුන් වමේ පක්ෂයක් නම් එකතු විය යුතුමයි. ඒ සම්බන්ධයෙන් තවත් ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කළ හැක්කේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමෙන් පමණක් බව එස්.බී. දිසානායකගේ අදහසය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එකතු වුණ නිසා මිනිස්සු පක්ෂය අත ඇරියා. ආයෙත් ඒ පක්ෂය ශක්තිමත් කරන්න නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක එකතු වෙන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන අපේ සමකාලීන දේශපාලනඥයෙක්. එයා තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීන්දුවක් ගන්න එකක් නැහැ. ගෝඨාභය පත් කරන්න කලිනුත් අපි සාකච්ඡා කළා. තවත් සාකච්ඡා කරයි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

Image copyright
SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවය.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා එක පාරක් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. තවදුරටත් සාකච්ඡා කරයි. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තමයි මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ.”

මේ අතර “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර” පැවසු බව ලංකාදීප වෙබ් අඩවිය ඉරිදා වාර්තා කර තිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ

එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා නම් කර ඇති පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පක්ෂය සමග සන්ධානගත වුවහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන ඉරණම කුමක් වනු ඇතිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි මහ ලේකම් මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ:

“තුන් වෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපි මේ අවස්ථාවේ උත්සහ කරන්නේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයා සමග සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා අසාර්ථක වුණොත් යම් තීරණයක් ගන්න වෙනවා. ඒත් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ සාකච්ඡා අසාර්ථක වෙයි කියලා.”

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉරිදා (අගෝස්තු 11) පැවති සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආචාර්ය සරත් අමුණුගම සහ මොහාන් ලාල් ග්‍රේරු සහභාගි වූ අතර ඔවුන්ට ඊට සහභාගි නොවන ලෙසට තහනමක් පනවා නොතිබූ බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවසීය.

එක් වරක් පමණක් ජනපති ධුරය දැරූ පළමු වැන්නා ලෙස ඉතිහාස ගතවනු ඇතිද?

Image caption

මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ පොදූ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එක් අයෙකුට ජනාධිපති ධූරය දැරිය හැකි උපරිම වාර ගණන දෙකකි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වෙනස් කළ ද නව සංශෝධනය අනුව යළිත් එය දෙවරකට සීමා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී 1978 සිට මේ දක්වා කාලය තුළ එක් වරක් පමණක් ජනාධිපති ධුරය දරා ඇත්තේ ආර්. ප්‍රේමදාස පමණි.

1989 වසරේදී ජනාධිපති ධූරයට පත් වූ ආර්. ප්‍රේමදාස, 1993 වසරේදී ඝාතනයට ලක් වීම හේතුවෙන් ඔහුගේ ධූර කාලය වසර 4කට සීමා විය.

ඒ හැරුණු විට, ජේ.ආර්. ජයවර්ධන (1978 සිට 1989 දක්වා), චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1994 සිට 2005 දක්වා) සහ මහින්ද රාජපක්ෂ (2005 සිට 2015 දක්වා) ජනාධිපති ධූරය දෙවරක් බැගින් දැරූහ.

යම් හෙයකින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ කුමන හෝ සන්ධානයක් නියෝජනය නොකර මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනහොත් එක් වරක් පමණක් ජනාධිපති ධූරය හොබවා එම ධූරය හැර යාමට සිදුවන ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එක් වනු ඇත.

තවදුරටත් කියවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here