ගිනස් වාර්තාවකදී ජීවිතය අහිමිවූ මරණයට බය නැති මිනිසා

0
14


කුමාර් ආනන්දන්ගේ නම මෙරට වැඩිහිටි පරපුරට කිසිදිනෙක අමතක නොවන නාමයකි. ගිනස් වාර්තාපොතට ශ්‍රී ලාංකේය නාමය රැගෙන ගිය පළමු ශ්‍රී ලංකිකයා ඔහුය. එකළ කුමාර් ආනන්දන් ගිනස් වාර්තා තබද්දී එය නැරැඹීමට වැල නොකැඩී ජනතාව එක්රොක් විය. නමුත් වත්මන් පරපුරේ මේ විශිෂ්ට ක්‍රීඩකයා ගැන දන්නා පිරිස අතලොස්සකි. ගිනස් වාර්තාවක් තැබීමට ගත් උත්සාහයක් වැරැදීමෙන් ඔහු අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගෙන පසුගිය 6 වැනිදාට 35 වසරක් සපිරිණි.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන් ඔහුගේ සම්පූර්ණ නමය. වසර 1944දී යාපනයේ වැල්වැටිතුරේ උපන් කුමාර්ගේ පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සේවයේ සිටි විවේකානන්දන්ය. මව රාජම් ය. දරුවන් දෙදෙනකු සිටි පවුලේ වැඩිමලා වූ ඔහු ගිනස් වාර්තා තැබූ ශ්‍රී ලාංකිකයන් අතර පුරෝගාමී චරිතයක් බවට පත්වීමේ අඩිතාලම දමාගත්තේ 18 හැවිරිදි වියේදි පෝක් සමුද්‍ර සන්ධිය හරහා නොනවත්වා ඉන්දියාවට පීනා වාර්තාවක් පිහිටුවීමෙනි. එකල පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා වාර්තාවක් කලින් පිහිටුවා තිබුණේ නවරත්නස්වාමි ක්‍රීඩකයා විසිනි. කුමාර් ආනන්දන් මේ පිහිනීම කළේ ඔහු සිහිවීම පිණිසය. ඔහු එම ගිනස් වාර්තාව අලුත් කළේ නැවතත් 1971 වසරේදි පෝක් සමුද්‍ර සන්ධිය හරහා එකදිගට ඉන්දියාවට පිහිනා නැවත ලංකාවට පිහිනමිනි.

පේදුරුතුඩුව හර්ට් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඔහු තවත් පාසල් කිහිපයකම අධ්‍යාපනය ලැබුවේ රාජ්‍ය සේවකයකු වූ ඔහුගේ පියාට වරින් වර මාරුවීම් ලැබුණු නිසාවෙනි. ඒ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේද ඔහුට අධ්‍යාපනය ලැබීමට වරම් හිමි විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එල්.එල්.බී. උපාධිය ලබා කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් වී ශ්‍රී ලංකාවේ නීතිඥයකු ලෙස සමත්ව අධිකරණයේ නීතිඥයකු ලෙස දිවුරුම් දුන් කුමාර්ට ගිනස් වාර්තා තැබීමේ පුදුමාකාර පිපාසයක් ඇතිවිය. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගනිමින් සාර්ථක අධ්‍යාපන දිවියක් නිමා කිරීමෙන් පසුව ගිනස් වාර්තා තැබීමට මුළු දිවියම කැප කළේය.

ඔහුගේ දෙවන ගිනස් ලෝක වාර්තාව වූයේ පැය 61ක් ජලයේ පිහිනීමය. වසර 1975දී කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේදී ඔහු එකදිගට පැය 61ක් පිහිනා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීය. ඔහුගේ තෙවන ලෝක වාර්තාව වූයේ තනි කකුලෙන් පැය 12යි විනාඩි 47ක් එක දිගට සිටගෙන පිහිට වූ ලෝක වාර්තාවය. 1979 ජනවාරි 1වැනිදා ඔහු එකදිගට පැය 128ක් නර්තනයේ යෙදෙමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවිය. ගෝල්ෆේස් ශ්‍රින් හෝටලයේ පැවති මේ දඟර නැටුම් රංගනය නැරඹීමට එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පැමිණ ඔහු දිරිමත් කරමින් සුබ පැතුවේය. එවකට ගෝල්ෆේස් හෝටලයේ සභාපති සිරිල් ගාඩිනර් ඔහුට රුපියල් 10000ක ත්‍යාගයක්ද දුන්නේය.

ඒ මුදල් එවලේම එවකට නැඟෙනහිර පළාතේ ගංවතුරින් සුළි සුළඟින් අනාථ වූ පුද්ගලයන්ට පරිත්‍යාග කරන්නැයි ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අතටම එම මුදල් පත් කළේය. කුමාර් ආනන්දන්ට වයස 40 වන විට ඔහුගේ අරමුණ වූයේ එංගලන්තය හා ප්‍රංශය අතර පිහිටි මුහුදු සීමාව වූ ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනා වාර්තාවක් පිහිටුවාලීමයි. ඔහු එම ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමට උත්සාහ දැරීමේදී කකුළක ආබාධයක් ඇතිවී අවාසනාවන්ත ලෙස මුහුද මැදදී ජීවිතයෙන් සමුගත්තේය. ඒ 1984 අගෝස්තු 06 වන දිනයි. ඔහු මරණයට බිය වූ මිනිසකු නොවීය. වරක් බරපතළ රිය අනතුරකට මුහුණ දී මාස හයක් රෝහලේ සිටියේය. පසුව ඔහුට තවත් මාස හයක් කිහිලිකරුවක සිටීමට සිදුවිය. එහෙත් ඉන් පසුව පවා ඔහු වේගවත් මෝටර් යතුරුපැදි පැදවීම සිදු කෙළේය.

ජාතීන් අතර සහජීවනය, සංහිඳියාව ගැන කතා කරද්දී පවා කුමාර් ආනන්දන්ගේ නම මුලින්ම කියැවේ. ඔහු යාපනයේ උපන් දෙමළ හින්දු පුද්ගලයකු වූ අතර ඔහුගේ බිරිය මානෙල් සමරවීර දකුණේ මාතර උපන් සිංහල බෞද්ධ කාන්තාවකි. ජීවිත කාලය පුරාවට ඔවුන්ගේ ආදර කතාවට එල්ල වූ බාධා ඔවුන් ගණන් ගත්තේ නැත. ඔවුන්ට පුතුන් දෙදෙනෙකි. ඔවුන් රාජන් හා රාජේෂ්ය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඔහු සිහිවීම පිණිස 1999 දෙසැම්බර් මස 30 දින තැපැල් මුද්දරයක් නිකුත් කළේය. එවකට සිටි තැපැල් හා සන්නිවේදන හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා එම උත්සව සභාව අමතමින් කුමාර් ආනන්දන් ගිනස් වාර්තා පිහිටුවමින් රටට විශාල කීර්තියක් ගෙනදුන් බව ප්‍රකාශ කළේය.

 

ඔහු පිහිටවූ වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තා කිහිපයකි මේ.

1971- ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සහ ආපසු පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය පිහිනීම. 1977 – කොළඹ රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ අඩි 8×8 කොටුවක එකදිගට පැය 61ක් රැඳී සිටීම

1978 – දෙසැම්බරයේ පැය 128 ක් සඳහා ට්විස්ට් නැටුම.

1979 – මැයි මාසයේදී සැතපුම් 1487 ක දුරක් පැය 187 ක් නොනවතින පාපැදි පැදීම.

1979 – මැයි මාසයේදී එක් පාදයකින් පැය 33 ක් හිටගෙන සිටිම.

1979 – දෙසැම්බරයේ පැය 136 ක් බෝල විදීම.

1980 – මැයි මාසයේදි වාඩි වීම නැගිටීම – මිනිත්තු දෙකකින් 165 වාරයක්.

1980 – දෙසැම්බරයේදි හයි කික්ස් – 9100 වතාවක්

1981 – අගෝස්තු මාසයේදී සැතපුම් 296 ක දුරක් පැය 159 ක් නොනවත්වා ඇවිදීම.

1981 – අගෝස්තු මාසයේදී මදුරාසියේ ඇනා පිහිනුම් තටාකයේ දී පැය 80 ක් ජලයේ කිමිදීම.

 

නන්දික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here