ග්ලෝබල් ලීග් විස්සයි20 ශූරතාව විනිපෙග් හෝක්ස්ට

0
15


කැනඩාවේ පැවැති ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ලකුණු සමවීම හේතුවෙන් හිමිවූ සුපිරි ඕවරය ජය ගනිමින් ශූරතාව හිමිකර ගැනීමට රයාඩ් අම්රිත් මෙහෙයවූ විනිපෙග් හෝක්ස් කණ්ඩායම සමත් විය.

සොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් වැන්කුවර් නයිට්ස් සහ හෝක්ස් අතර පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් හෝක්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 192ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය නයිට්ස් පිලට ද ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.

ඒ හේතුවෙන් පිරිනැමුණු සුපිරි ඕවරයේ පළමුව පන්දුවට පහරදුන් නයිට්ස් පිල ලකුණු 9ක් රැස්කළ අතර පන්දු 4කදී එම ඉලක්කය සපුරා ගැනීමට හෝක්ස් පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හෝක්ස් පිල වෙනුවෙන් ශයිමාන් අන්වර් ලකුණු 90ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමගින් පන්දු 45කිනි. ක්‍රිස් ලින් පන්දු 21කින් ලකුණු 37ක් සහ ජේ.පී.ඩුමිනි පන්දු 27කින් ලකුණු 33ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ඇන්ඩෘ රසල් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පන්දු 36කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 64ක් රැස් කරමින් සොයිබ් මලික් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා විය. ඇන්ඩෘ රසල් පන්දු 20කින් නොදැවී ලකුණු 46ක් රැස් කළේය.

කණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා නියෝජනය කළ මොන්ට්‍රියල් ටයිගර්ස් පිලට හිමිවූයේ 5 වැනි ස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here